පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අරගලකරුවන්ට යටවී ආරක්ෂක භටයෝ සිව් දෙනෙක්, අද ජීවිතක්ෂයට පත් වූහ.
අත්අඩංගුවේ පසුවන එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් අඛණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටිති.
ඛාන් ආධාරකරුවෝ දහස් ගණනක් මුරකාවල් බිඳ දමමින් අද අගනුවරට පා ගමනින් පැමිණියහ.

තමා නිදහස් කරන තෙක් පාර්ලිමේන්තුව අසල අඛණ්ඩ අරගලයේ යෙදෙන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම පිරිස් එහි පැමිණියහ. ඛාන් වහා නිදහස් කරන ලෙසත්, රජයට ඉල්ලා අස්වන ලෙසත් උද්ඝෝෂකයෝ හඬ නගති.
මේ නම්, සාමකාමී උද්ඝෝෂණයක් නොව අන්තවාදී ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් (Shehbaz Sharif) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එය ලේ පිපාසිත අන්තවාදීන් පිරිසකගේ දේශපාලන අයිතීන් දිනා ගැනීම පිණිස සිදු කෙරෙන අනීතික ක්‍රියාවක් යැයි, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්ය.

ඉම්රාන් ඛාන්ගේ බිරිඳ, බුෂ්රා බිබී (Bushra Bibi) අරගලකරුවන්ට නායකත්වය දෙමින් අගනුවර වෙත පාගමනට එක්ව සිටී. ආණ්ඩු විරෝධී පා ගමන අද උදෑසන පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයෙන් ආරම්භ විය. ඛාන්ගේ ප්‍රධාන ආධාරකරුවකු වන අලි අමින් ගන්දපුර් (Ali Amin Gandapur) ද ඊට එක්ව සිටී.
පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස්වන ලෙස ඛාන් විසින් විරෝධතාකරුවන්ට දන්වා තිබේ. අධිකරණ බලතල කප්පාදුව පිණිස ගෙනෙන ලද නව ව්‍යවස්ථා සංශෝධන හකුළුවා ගන්නා ලෙස ද උද්ඝෝෂකයෝ රජයට බල කර සිටිති.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)






