leader s

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා සටන් විරාමයකට, එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ නවතම යෝජනාවකට

ඊශ්‍රායල රජය අනුමැතිය ලබා දීමට සූදානමින්  සිටී.  

මීට මාස 14කට පෙර ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු, ඊශ්‍රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සටන් කරුවන් අතර ද දරුණු සටන් ඇවිලිණි. ඉන්, ලෙබනන වාසීහු දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූහ.  

එරට වේලාවෙන් අද රාත්‍රිය උදා වීමට පෙර ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය.

ඊශ්‍රායල කැබිනට් ආරක්ෂක මණ්ඩලය අද පස්වරුවේ  රැස්වේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මුලසුන දරන එම හමුවේදී ඉදිරිපත් කෙරෙන එම සටන් විරාම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙතැයි අපේක්ෂා කෙරේ.

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්‍රොන් විසින් සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

සටන් විරාම ගිවිසුමට අනුව, ඉදිරි දින 60 ක කාලය තුළ ඊශ්‍රායල හමුදා මුළුමනින්ම දකුණු ලෙබනනයෙන් ඉවත් විය යුතු වේ.  අනතුරුව, හිස්බුල්ලා බල ප්‍රදේශයේ   පාලනය ලෙබනන හමුදා යටතට පත් කෙරේ. එරට, ලිටානි ගංගා ධාරයේ දකුණුබඩ දේශ සීමාවේ, හිස්බුල්ලා සන්නද්ධ ක්‍රියාකාරකම් ද නිමාවට පත්වේ.

දේශ සීමාවේ එක්සත් ජාතීන්ගේ හමුදා රැඳවිය යුතු බවට ඊශ්‍රායලය යෝජනා කරන බව, එරට ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් අද කියා සිටියේය.

ඉන් පසුව, හිස්බුල්ලා සංවිධානය විසින් සිදු කෙරෙන සටන් විරාමය කඩ කෙරෙන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිසේත් ඉවසීමෙන් කටයුතු නොකරනු ඇතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ලෙබනනය සමග එලැඹෙන ගිවිසුමෙන්, හිස්බුල්ලා තර්ජන පිටු දැකීම පිණිස, ඊශ්‍රායල හමුදාවන්ට  අවශ්‍ය ඕනෑම මොහොතක ලෙබනනය තුළ ක්‍රියාන්විත සිදු කිරීමේ බලය ඉල්ලා තිබේ.  

අවතැන් වූවන්ට යළි උතුරු ඊශ්‍රායල දේශ සීමාවේ පිහිටි සිය පදිංචි ප්‍රදේශ කරා පැමිණීමේ කටයුතු ඊශ්‍රායල හමුදා අධීක්ෂණය සහ ආරක්ෂාව  යටතේ සිදු කිරීමට ද ඉල්ලා තිබේ.  

සටන් විරාම යෝජනාවට දැනටමත් ලෙබනන රජයේ අනුමැතිය පළවී ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය නෙතන්යාහු සිය අදහස වෙනස් කර නොගතහොත් මිස, ලෙබනන පාර්ශ්වයෙන් ඊට විරෝධතා එල්ල වී නැතැයි, ලෙබනන නියෝජ්‍ය පාර්ලිමේන්තු කථානායක එලියස් බෞ සාබ් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත උත්සන්න වීමත් සමග ඉක්මන් සටන් විරාමයක් පිලිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය.

අදත්, දකුණු බීරුත් බද හිස්බුල්ලා පාලන ප්‍රදේශ කිහිපයක් වෙත දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කෙරිණි. හිස්බුල්ලා සංවිධානයද ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කළේය.

ඉමහත් මූල්‍ය අර්බුදයක් අබියස සිටින ලෙබනනය, සටන් විරාම ගිවිසුමට එළැඹීමත් සමග ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයට පත් ප්‍රදේශ සහ එහි යටිතල පහසුකම්  ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත මූල්‍ය අභියෝගයකට ද මුහුණ දී සිටී.

යුද්ධයෙන් මේ වන විට, ලෙබනනයේ මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටිති. ළඟ එන ශීත සෘතුව ඔවුන්ට අතිශය පීඩාකාරී වනු ඇතැයි, ලෙබනනය පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර 7, ඊශ්‍රායලයේ සිදු කළ හමාස් ප්‍රහාරයෙන් පසු, එම සංවිධානයට සහාය දෙන හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාර හමුවේ උතුරු ඊශ්‍රායල දේශ සීමා වෙතින් පලාගිය 60,000ක ඊශ්‍රායල ජනතාව, සටන් විරාමයත් සමග යළි ඒ වෙත පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය සැප්තැම්බරයේ ඊශ්‍රායල හමුදා, හිස්බුල්ලා නායක සයෙඩ් හසන් නස්රල්ලා සහ ඉහළ පෙළ සන්නද්ධ ක්‍රියාකාරීන් රැසක් ඝාතනය කළහ. එම   සංවිධානයේ ග්‍රහණයේ පැවති ලෙබනනයේ ප්‍රදේශ රැසකට  ඊශ්‍රායලය දැඩි ගුවන් ප්‍රහාර සිදු කළේය.

ඉකුත් ඉරිදා (24) හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 250කට අධික සංඛ්‍යාවක් එල්ල කළේය. එය, වත්මන් ගැටුම් අතරතුර ඊශ්‍රායලය වෙත එකවර එල්ල කරන ලද වැඩිම හිස්බුල්ලා රොකට්  සංඛ්‍යාවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල 1701 ප්‍රඥප්තියට අනුව සටන් විරාමය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවුවහොත්, 2006 සිට ඇවිලුණු ප්‍රධාන කලාපීය යුද ගැටුමක් තිරසරව නිමවනු ඇත. එහෙත්, එම කුමන, එකඟතා මධ්‍යයේ වුව, ඕනෑම අවස්ථාවෙක ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමේ ඒකපාර්ශ්වීය අයිතිය ඊශ්‍රායලය සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් ඊයේ (25) පැවසීය.

ඊශ්‍රායලයට එවැනි හිමිකමක් පැවරීම පිලිබඳ ලෙබනනය මුලදී සිය දැඩි නොසතුට පල කළේය. යෝජිත සටන්විරාම කෙටුම්පතේ එවැනි යෝජනාවක් 'කිසිදු බසකින්' සඳහන් කර නැතැයි ලෙබනන රාජ්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ. එහෙත්, ඒ සම්බන්ධයෙන්, එක්සත් ජනපදය පාර්ශ්වයෙන් යම් එකඟතාවක් ඇතැයි, ඊශ්‍රායලය පවසයි.

අද ලෙබනන පුවත් පතක් වෙත අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නිලධාරී මොහොමඩ් රාඩ්, ජාත්‍යන්තර බලපෑම්වලින් නොඑසේව, විඩාවට පත්වීමෙන් තොරව ඊශ්‍රායලය කිසිවිටෙක සටන් විරාම සාකච්ඡාවන්ට එක් නොවනු ඇතැයි පැවසීය.

එක්සත් ජනපදය ද හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. එබැවින්, ඒ හා සිදු කරෙන සියලු අතරමැදි සටන් විරාම සාකච්ඡා, ලෙබනන  පාර්ලිමේන්තු කථානායක නබී බෙරී හරහා සිදු කිරීමට එක්සත් ජනපදය පියවර ගත්තේය.

පසුගිය වසරේ පමණක්, ඊශ්‍රායල-හිස්බුල්ලා ගැටුම් වලින් ලෙබනනයේ 3,750කට අධික පරිසක් ඝාතනය වූහ. මිලියනයකට අධික ජනගහනයක් යුද්ධයෙන් අවතැන්ව සිටිති.

හිස්බුල්ලා ප්‍රහාර හේතුකොට උතුරු ඊශ්‍රායලයේ සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගෝලාන් කඳුකරයේ සිවිල් වැසියන් 45 දෙනකු ද ඝාතනය විය. ගැටුම්වලින් ඊශ්‍රායල හමුදා භටයින් 73 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ධුර කාලය ලබන ජනවාරි මස අවසන් වේ. බයිඩන් පරිපාලනය, ලෙබනනයේ සටන් විරාමයක් උදෙසා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් පිණිස සාධනීය ප්‍රයත්නයක යෙදී ඇතත්, ගාසා තීරයේ ගැටුම් නතර කිරීම පිණිස එවැනි මැදිහත්වීමක් සිදු නොකළ බවට ද විවේචන එමටය.

අද එළැඹෙතැයි විශ්වාශිත ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය ඔස්සේ, ගාසා තීරයේ තිරසර සටන් විරාමයකට ද මග විවරවනු දැකීම සියළු සාමකාමී ලෝකවාසීන්ගේ අපේක්ෂාවයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්