ඉතාලියේ, ජාතික අය වැයට එරෙහිව අද රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ විය.
එරට සියලු, ගුවන් ගමන් බස් සහ දුම්රිය ප්‍රවාහන සේවා ද නතර කර තිබේ. ඇතැම් පාසල් ද වසා දැමුණු අතර සෞඛ්‍ය මධ්‍යස්ථාන සේවාද ඇණ හිට පවතී.
ඉතාලියේ, විශාලතම වෘත්තීය සමිති දෙකක් මගින් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
නව අය වැයෙන් සමාජ ආරක්ෂණ, පොදු මහජන සේවා සහ ආයෝජන උදෙසා වන ප්‍රතිපාදන කප්පාදු කර ඇතැයි, ඔවුහු කියා සිටිති.
රට පුරා වැඩ බිම අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග, වැඩ බිම සේවක ආරක්ෂාව තර කිරීම පිණිස අය වැය මගින් ලබා දෙන ප්‍රතිපාදන තව දුරටත් වැඩි කළ යුතු බව ද ඔවුහු කියා සිටිති.
අද වැඩවර්ජනය දක්ෂිනාංශික අග්‍රාමාත්‍ය, ජ්යෝජියා මෙලනි (Giorgia Meloni) ගේ රජයට ඉමහත් අභියෝගයක් එල්ල කර ඇත.
යුරෝපීය සංගමයේ නියාමනයන්ට අනුව මහජන වියදම් 'තද' කිරීමට රජය ක්‍රියා කිරීමත් සමග ඊට එරෙහි වැඩ බිම උද්ඝෝෂණ නව මුහුණුවරක් ගෙන තිබේ.
එරට තෙවන විශාලතම වෘත්තීය සමිතිය අද වැඩවර්ජනයට සහාය නොදක්වයි.
ඉතාලියේ චතුරශ්‍ර සියල්ල, වැඩවර්ජනයට සහාය දක්වන්නන්ගෙන් පිරී පවතී. එය, මෙතෙක් එරට පැවති දැවැන්තම වැඩවර්ජනය සේ සැලකේ.
පසු ගිය මස අනුමත කරන ලද එරට නව අය වැයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 25.3 ක බදු කප්පාදුවක් සිදු කර තිබේ.
සියලු වියදම් ඉහළ දමා ඇති අතර අය වැය මගින්, ආදායම් බදු මෙන්ම, මධ්‍යම සහ අඩු ආදායම් ලාභීන්ට හිමි සමාජ ප්‍රතිලාභ ද කප්පාදු කර ඇත.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






