සිරියානු ජනපති බෂාර් අල්-අසාද් ට එරෙහි කැරලිකරුවන් ළඟාවීමත් සමග බලධාරීහු අද එරට අලෙප්පෝ නගරයේ ගුවන්තොටුපොළ සහ නගරය වෙත පිවිසෙන සියලු ප්‍රවාහන මාර්ග වසා දැමීමට පියවර ගත්හ.
නගර මධ්‍යයට ඉතා සමීපව ඇතැයි, කැරලිකරුවෝ කියා සිටිති.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන හයාත් තහ්රිර් අල්-ෂාම් (Hayat Tahrir al-Sham), රජයට එරෙහි සිරියානු අරගලයට නායකත්වය දෙමින් සිටී.
මෙම සතියේ ඔවුහු රට පුරා, රජයට එරෙහි දැවැන්ත හදිසි අරගලයක් දියත් කළහ. මීට පෙරද, අලෙප්පෝ නුවර ආක්‍රමණයට පැමිණි එම කණ්ඩායම්, අසාද් සහ ඔහුගේ හිතවාදීන් විසින් පලවා හැරිණි.
අද ආක්‍රමණය, එම සිදුවීමෙන් දශකයකට පසුව ය.

රුසියාව, අසාද් ගේ සමීප හිතවාදියකු වේ. ඔහුට සහාය පිණිස, කැරලිකරුවන් පලවා හැරීමට ඩමස්කස් ( Damascus) අගනුවර වෙත අතිරේක හමුදා බල ඇණි පිටත්කර එවන බවට රුසියානු ජනපති විසින් පොරොන්දු දී තිබේ. ඉදිරි පැය 72 ඇතුළත සන්නද්ධ රුසියානු හමුදා එහි ලඟා වීමට නියමිතය.
සියලු නාගරික ප්‍රදේශ වෙතින්, ආරක්ෂාකාරීව ඉවත්වන ලෙස සිරියානු හමුදා වෙත උපදෙස් නිකුත් කර තිබේ.
කැරලිකරුවෝ අලෙප්පෝ නගර ආක්‍රමණය පසුගිය බදාදා (27) ආරම්භ කළහ.
ඊයේ (29) ද, ඒ අවට තදාසන්න පෙදෙස් ඔස්සේ ඔවුහු සිය නගරාක්‍රමණය තීව්‍ර කළහ.

2016න් පසු කැරලි කරුවන් ඒ වෙත පැමිණෙන්නේ ප්‍රථම වතාවටය. මීට දශකයකට පමණ ඉහත, ඔවුන් අලෙප්පෝ ආක්‍රමණය සිදු කළ මුල් අවස්ථාවේ, අසාද් හිතවාදී, රුසියාව, ඉරානය සහ ෂියිතේ සන්නද්ධ කණ්ඩායම් එක්ව, ඔවුන් පලවා හැර බලය තහවුරු කර ගත්හ.
එකල, අලෙප්පෝ හි මාස ගණනක සටන් ඇවිලුණු අතර, දැඩි ආක්‍රමණ සහ බෝම්බ හෙළීම් හමුවේ, කැරලි කරුවෝ පසුබැස ගියහ.
අලෙප්පෝ නාගරික සීමාවේ, ඉරාන සහාය ලද සන්නද්ධ කණ්ඩායම් රැඳී නොසිටීම, මෙවර ආක්‍රමණය පහසු කළ බව, ජයිෂ් අල්-ඉසා කැරලි බලකායේ, අණදෙන නිලධාරී මුස්තාෆා අබ්දුල් ජබෙර් පැවසීය.
මැද පෙරදිග කලාපයේ, ගාසා යුද උණුසුම පැතිරී යාමත් සමග, එහි ඉරාන සහාය හිමි සන්නද්ධ කණ්ඩායම් වෙත, දැඩි ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය. ඉන්, ඔවුන් බොහොමයකගේ බලය මුලුමන්න්ම අඩපණ වී තිබේ.
අසල්වැසි තුර්කිය, කැරලි කරුවන්ට සහාය පළ කර සිටී. එහෙත්, තුර්කිය මේ අවස්ථාවේ, කලාපයේ ගැටුම් උත්සන්න කිරීමක් අපේක්ෂා නොකරන බව එරට විදේශ අමාත්‍යංශය කියා සිටී. එය කලාපීය ගැටුම් සමනය පිණිස එළැඹි ගිවිසුම් කඩ කිරීමක් බව විදේශ අමාත්‍යංශ නිලධාරීහු පෙන්වා දෙති.

2020 වසරේ, එම ගැටුම් සමනය පිණිස, රුසියාව සහ තුර්කිය අතර ගිවිසුම් අත්සන් කෙරිණි. නවතම ගැටුම්කාරී වාතාවරණය, ඉන් පසු හට ගැනුණු විශාලතම අරගලය සේ සැලකේ.
කැරලිකරුවන් දැනටමත් අලෙප්පෝ නගරය ආක්‍රමණය කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය යැයි, සිරියානු රාජ්‍ය රූපවාහිනිය ඊයේ පැවසීය. සිරියානු හමුදාවන්ට, රුසියානු ගුවන් හමුදා සහාය ලබා දී ඇතැයි වාර්තා වේ.
අලෙප්පෝ අවට ගම්මානවල සහ ඉඩ්ලිබ් හි දී කැරලිකරුවන්ට දැඩි ප්‍රහාර එල්ල කළ බව සිරියානු හමුදා පවසති. වයඹදිග සිරියාවේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය පිලිබඳ තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිලිබඳ කලාපීය නියෝජ්‍ය සම්බන්ධීකාරක, ඩේවිඩ් කාර්ඩෙන් කියා සිටී.
පසුගිය තෙදින තුළ පමණක් පැවති ගැටුම් වලින්, සිවිල් පුදගලයින් 27කට අසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. වයස අවුරුදු 8 තරම් කුඩා ළමුන් කිහිපදෙනෙක් ද ඒ අතර වෙති.

අලෙප්පෝ නගරය ආක්‍රමණය කරමින් සිටින කැරලිකරුවෝ ඊයේ, අසල විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් වෙත ෂෙල් වෙඩි ප්‍රහාරයක් ද එල්ල කළහ. ඉන් විශ්ව විද්‍යාල සිසුහු දෙදෙනෙක් ඇතුළු සාමාන්‍ය පුරවැසියෝ සිව් දෙනෙක් මිය ගියහ.
ආක්‍රමණය, සිරියාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බව රුසියාව පවසයි. තත්ත්වය වහා සමනය කර සිරියාව තුළ ව්‍යවස්ථාපිත බලය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව එරට රජය කියා සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






