තායිලන්තය සහ උතුරු මැලේසියාව දශක කිහිපයකට පසු දරුණුතම ගංවතුර තත්ත්වයකට මුහුණ පා සිටී.
ඊයේ (30) එම රටවල ආපදා තත්ත්වයන්ගෙන් මිය ගිය ගණන 12තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඉකුත් තෙදින ඇතුළත ජල ගැලීම් පිලිබඳ අනතුරු අඟවා තිබූ ප්‍රදේශ වෙතින් දහස් ගණන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගැනිණි.
දකුණු තායිලන්තයේ පමණක් නිවාස 534,000ක් ජල ගැල්මට හසුව තිබේ. දහස් ගණන් නිවැසියෝ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 200ක් වෙත යොමු කර ඇත. ගංවතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ, තායිලන්තයේ සොන්ග්ඛ්ලා ප්‍රාන්තයේ, චානා දිස්ත්‍රික්කයටය. පසුගිය වසර 50ක කාලයට පසුව ඒ වෙත බලපෑ දරුණුම ගංවතුර තත්ත්වය මෙයය.
අසල්වැසි මැලේසියාවේද තත්ත්වය ඊට නොදෙවෙනිය. ජල ගැල්මෙන්, එහි ප්‍රාන්ත නවයක, පුද්ගලයින් 139,000ක් අවතැන්ව සිටී. ජීවිත හානි තුනක් ද වාර්තා වේ.
තවත් අසල්වැසි රටක් වන ෆිලිපීනයද පසු ගිය දා දරුණු ස්වභාවික ආපදා තත්වයන්ගෙන් බැට කෑවේය. ඉකුත් මස පමණක්, එරට දැඩි කුණාටු හයක ට මුහුණ දුන්නේය. ඉන්, රට පුරා ඉමහත් විනාශයක් ද සිදු විය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






