සෙනෙගාලය, දෙවන ලෝක යුද සමයේ අප්‍රිකානු යුද හමුදා භට පිරිස් සමූලඝාතනය කිරීමේ 80 වැනි සංවත්සරය ඊයේ (1) සැමරීය.
ප්‍රංශය වෙනුවෙන් සටන් වැදුණු එම හමුදා සෙබළුන් විසින් යළි මව්රට පැමිණීමේදී සමානාත්මතා සාධාරණය සහ සේවයට නිසි වේතන ඉල්ලා සිටීමේදී, 1944 දී, ප්‍රංශ හමුදා ඔවුන් සියල්ල වෙඩිතබා ඝාතනය කළහ.
එම සමූලඝාතනයේ සියළු වගකීම ප්‍රංශය විසින් දැරිය යුතු බවට සහ නිල වශයෙන් ඊට සාමාව අයැද සිටිය යුතු බවට, සෙනෙගාලය දිගු කලෙක සිට, 'දිගින් දිගටම' කියා සිටී. සෙනෙගාලයේ ඩකාර් (Dakar) අගනුවර ආසන්නයේ පිහිටි තියරොයේ (Thiaroye) නම් ධීවර ගම්මානයකදී සිදු කරන ලද එම සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ.
මේ වන විට බොහෝ අප්‍රිකානු රටවල් ආරක්ෂක හේතූන් මත රුසියානු ගැති ලක්ෂණ දැක්වීමත් සමග, ප්‍රංශය එම රටවල් හා පැවැත්වූ ද්වීපාර්ශ්වීය සබඳතා වලින් බොහෝ සෙයින් දුරස්ව සිටී.
අප්‍රිකානු පාබල හමුදා, දෙවන ලෝක යුද සමයේ, සිය තාරුණ්‍යය සහ එහි ජවය ප්‍රංශය වෙනුවෙන් දිවි හිමියෙන් කැප කළ, ප්‍රංශයේ ස්වෛරීත්වය උදෙසා රුහිරු හෙළා සටන් කරමින් ලෝක සාමය සහ නිදහස වෙනුවෙන් දිවි පිදූවන් යැයි, එම සමූල ඝාතනයේ 80 වන සැමරුමට එක් වූ සෙනෙගාල ජනපති බසිරෝ දියොමයේ ෆායේ (Bassirou Diomaye Faye), එහි පැමිණ සිටි ආරාධිතයින් සහ මාධ්‍යය අමතා ප්‍රකාශ කළේය.
සමූලඝාතනය ට බඳුන් වූ හමුදා භට පිරිස් සම්බන්ධ සංඛ්‍යාලේඛන පිලිබඳ පවතින පරස්පර මතිමතාන්තර ද මෙතෙක් නිරාකරණය කර නැත. එහි මුල්ම වාර්තාවල දැක්වෙන්නේ සෙනෙගාල භට පිරිස් 35ත් 70ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කෙරුණු බව මුත්, ඉතිහාසඥයින්ට අනුව ප්‍රංශ හමුදා සමග ඇති කරගත් විරෝධතා හමුවේ ඝාතනයට ලක් වූ අප්‍රිකානු හමුදා භටයින් සංඛ්‍යාව තවත් සිය ගණනකට වැඩි වියහැකි බව ද පැවසේ.
තියරොයේ හි පිහිටි යුද හමුදා සුසාන භූමියේ ස්මාරකය වෙත මල් කළඹ තබා සමරු උත්සවය ආරම්භ විය. අප්‍රිකානු රාජ්‍ය නායකයෝ රැසක් ද එක් වූ එම සැමරුමට ප්‍රංශ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා ද එක් විය.

සිය දාබිඳු වෙනුවෙන් නිසි වන්දි ඉල්ලූ අප්‍රිකානු පාබල හමුදා සමූලඝාතනය කිරීම ඉතා බියගුළු මර්දනයක් බව, සමරු උළෙලේ බෙදා හරින ලද පත්‍රිකාවක සටහන්ව තිබිණි.
එම මිනිස් ඝාතන 'සමූලඝාතනයක්' බව, සමරු උළෙලට දින කිහිපයකට පෙර ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන්, සෙනෙගාල ජනපතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යැවීය. ප්‍රංශ ජනපතිවරයාගේ ලිපිය, ඝාතනය වූ සෙනෙගාල හමුදා විරුවන් ට සාධාරණය ඉල්ලා සිදු කෙරෙන අඛණ්ඩ අරගලයේ සාධාරණත්වය වෙනුවෙන් ලද සාධනීය පිළිතුරක් බව සෙනෙගාල ජනපති ප්‍රකාශ කළේය.
එහෙත්, ප්‍රංශ රජය සත්‍යය යට ගසමින්, සිද්ධිය පිලිබඳ අවධානය වෙනතක යොමු කරමින් ඇතැයි, සමූලඝාතනය ට ලක්වූ හමුදා භටයින්ගේ ඉතිරිව සිටින පවුල් සාමාජිකයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






