ඊශ්‍රායලය සහ ලෙබනන හිස්බුල්ලා සංවිධානය අතර අත්සන් කෙරුණු කෙටි සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝනය කෙරෙමින් පවතී.
දකුණු ලෙබනනයේ තලෞසා සහ හැරිස් යන නගර වෙත ඉකුත් සඳුදා (02), නවතම ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය. ලෙබනනයේ ස්ථාන කිහිපයක හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
සඳුදා එම ප්‍රහාරවලින් අවම වශයෙන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ලෙබනන බලධාරීහු කියා සිටියහ. ඉන් එක් පුද්ගලයකු, රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකි.
ඊශ්‍රායල හමුදා, සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බව පවසා, හිස්බුල්ලා සටන් කරුවන්, මතභේදයට තුඩු දී ඇති ෂෙබා ෆාර්ම්ස් (Shebaa Farms) හි ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග එම නවතම ගැටුම් හට ගෙන තිබේ. ආරක්ෂක අනතුරු ඇඟවීමක් ලෙස එම ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
සඳුදා සන්ධ්‍යාවේ, බීරුත් අගනුවර පහළ ගුවන් කලාපයේ ඊශ්‍රායල ඩ්‍රෝන යානා පිසාර කරනු දුටු බව ප්‍රදේශවාසීහු රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර සිටියහ.
ප්‍රංශයේ සහ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ගෙනා ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය, සතියක් ඉකුත් වන්නට ද මත්තෙන් මෙසේ බිඳ වැටෙමින් පවතී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)






