මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කෙරේ.
එරට රාජකීය විමර්ශන කොමිසමක් විසින් එම චෝදනා විභාග කිරීමට නිර්දේශ කර ඇති අතර, ඒ පිලිබඳ වාර්තාවක් අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, අර්බුදයට තුඩු දී ඇති, සිංගප්පූරු සමුද්‍ර සන්ධියේ පිහිටි කුඩා දූපත් දෙකක අයිතිය පිළිබඳව ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් එම විමර්ශන ක්‍රියාත්මකය.
යුක්තිය පසිඳලීමේ ජාත්‍යන්තර අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ්, එරට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි 2018 කාලයේ අභියාචනා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කරන ලෙස එරට වත්මන් අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් විසින් මීට ඉහත දැනුම් දී තිබිණි. 2008 වසරේ ලබා දුන් එම අධිකරණ තීන්දුව මගින් පෙඩ්රා බ්‍රන්කා (Pedra Branca) දූපතේ ස්වෛරීතත්වය සිංගප්පූරුව සතු බවට ප්‍රකාශ කෙරිණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව ඔහුට එරෙහි චෝදනා එල්ලවේ.
2017 වසරේ එම අධිකරණ තීන්දුව වෙනස් කරන ලෙස සහ සවුත් ලෙජ් (South Ledge) නම් තවත් මතබේධාත්මක දූපතක් සම්බන්ධයෙන් අධිකරණයේ මතය ප්‍රකාශ කර සිටින ලෙස, මැලේසියාව ඉල්ලා සිටියේය. එහෙත් ඊට වසරකට පසු 2018, හිටපු අග්‍රාමාත්‍යවරයා සිය දෙවන ධුරකාලයේ රැඳී සිටියදී එම අභියාචනා අයදුම්පත් අධිකරණයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කෙරිණි.
එම වංචා සහගත ක්‍රියාවන් හා ඉන් මැලේසියාවේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීභාවයට හානි සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිය ධුරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ් ට එරෙහි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවට අද පර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයා 99 වන වියෙහි පසුවේ. ඔහුගේ කාර්යාලය, අදාළ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
අධිකරණයේදී ඔහුට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් හිටපු අග්‍රාමාත්‍යවරයාට සත් අවුරුදු සිර දඬුවමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදුවේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






