leader s

2025 ජනවාරි 20දා, සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර, හමාස් ත්‍රස්තවාදීන්, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත්,

අතිශය බියකරු විනාශයකින් ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි, මෙවර ඇමෙරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

අත්අඩංගුවට පත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් 101ක පමණ පිරිසක් ගාසා තීරයේ තවදුරටත් අවිනිශ්චිතව රඳවා ඇතැයි  සැක කෙරේ.

"2025 ජනවාරි 20 වනදා මම ඉමහත් සාඩම්බරයෙන්, මේ එක්සත් ජනපදයටම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වැඩ භාරගැනීමට කලින්, ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින්නේ නම්, දෙකක් නෑ, අපාය එහෙම පිටින්ම මැදපෙරදිගට ගෙනත් අතාරිනවා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළවුන් සැමට, ඉවක් බවක් නොබලා දඬුවම් පමුණුවනවා," යි, ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ ඉදිරියේ පවසා සිටී.

එම අපරාධවලට  වගකිව යුතු සියල්ලන්ටම ඇමෙරිකානු ඉතිහාසයේ, අතීත කතාවල පවා නොසිදුවූ ආකාරයෙන්, සිතා ගැන්මටවත් නොහැකි සේ,  දැවැන්ත ප්‍රහාර සිදු කරන බව ඔහු විසින් එහි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු මේ වන විට ගැටුම් අතරතුර ජීවිතක්ෂයට !

2023 ඔක්තෝබර් 07 දා සිට ඇරඹි ගාසා යුද්ධයේදී  සිය අත්අඩංගුවේ සිටි ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු මේ වන විට ගැටුම් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇතැයි, හමාස් සංවිධානය පවසයි.

එහෙත්, ඔවුන් කිනම් ජාතිකයින්දැයි, එම සංවිධානය විසින් අනාවරණය කර නැත. එදින සිදු කළ ඊශ්‍රායල ආක්‍රමණයේදී, පුද්ගලයින් 250 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට  පත්වූහ.ඉන් වැඩි දෙනෙක් ඊශ්‍රායල ජාතිකයෝ වෙති.

අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් ද මේ වනවිට අතුරුදන්ව ඇතැයි, එම සංවිධානය පවසයි.

ඊශ්‍රායලය විසින් දියත් කළ 'පිස්සු' යුද්ධය තව දුරටත් පැවතීම හමුවේ එම ප්‍රාණ ඇපකරුවන් ද සදහටම අහිමිවී යා හැකි බවත්, එබැවින්, කළ යුතු නිවැරදිම දෙය උදෙසා තව දුරටත් ප්‍රමාද නොවන ලෙසත්, එම සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත දැනුම් දී තිබේ.

එම දන්වා යැවීමෙන් අනතුරුව, ප්‍රාණ ඇපකරුවන් කවදා කෙසේ ඝාතනය කළේ දැයි පැවසෙන සවිස්තරාත්මක වීඩියෝවක් ද ඔවුන් විසින් මුදා හැර ඇත. එහි,  ප්‍රාණ ඇපකරුවන්ට අත්වූ ශෝචනීය ඉරණම සම්බන්ධයෙන්, හමාස් සංවිධානය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දෝෂාරෝපණය කර සිටී.

එම තොරතුරු පිලිබඳ ඊශ්‍රායල හමුදා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති අතර ගාසා තීරයේ තවදුරටත් ගුවන් ප්‍රහාර සිදු කෙරෙමින් පවතී.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම්, ඊශ්‍රායලය වහා ගාසා තීරයේ ගැටුම් නතර කර ඉන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.

එහෙත්, යුද්ධය නතර කෙරෙන්නේ, ඉදිරියේදී, ඊශ්‍රායලයට කිසිදු තර්ජනයක් එල්ල නොවන පරිදි හමාස් සංවිධානය මුළුමනින්ම තුරන් කිරීමෙන් පමණකැයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා පැවසීය.

(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි) 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්