ප්‍රංශයේ ලෝකප්‍රකට නොත්‍රිදාමයේ ආසන දෙව් මැදුර දිගු කලකට පසු අද යළි විවෘත කෙරිණි.
මෙයට හරියටම වසර පහකුත් මාස හයකට පෙර ඇතිවූ, හදිසි ගින්නකින් දැවී, මිනිත්තු කිහිපයක් ඇතුළත, එම වන්දනීය කලා කෘතිය මහ පොළොවට සමතළා විය.
එතැන් සිට එම මධ්‍යකාලීන ගොඩනැගිල්ල අතිශය ශූක්ෂ්ම ලෙස, එපරිදිම ප්‍රතිසංස්කරණය කර ප්‍රතිස්ථාපනය කෙරිණි. එහි ශිඛරය ඇතුළු අනෙකුත් සියලු දර්ශනීය කලාංග ද පෙර සේ ප්‍රතිනිර්මාණය කර තිබේ. ඊට කිරි ගරුඬින් සහ පිරිසිදු රනින් කළ විසිතුරු කැටයම් ද ඇතුළත්ය.
මේ වන විට, ප්‍රංශය දේශපාලනික කැළඹීමකට නතුව පවතී. එහෙත්, එම අභියෝග හමුවේ වුව, එරට ජනපති, එම්මානුවෙල් මැක්‍රන් දේවස්ථානය යළි විවෘත කිරීමේ උත්කර්ෂවත් උළෙලට ආරාධනා ලැබ එහි පැමිණි, නොබෝදා එක්සත් ජනපද ජනපතිවරණය ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු ඇතුළු රාජ්‍ය නායකියින් සහ දෙස් විදෙස් රාජ්‍ය නිලධාරීන් මහත් හරසරින් පිළිගත්තේය.
ඊට ආරාධනා ලැබ සහභාගී වූ රාජ්‍ය නායකයින් අතර, යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද විය.
2019 අප්‍රේල් 15 වන දින, එය හදිසියේ ගිනි ගැනීමත් සමග අති විශාල ප්‍රංශ වැසියන් පිරිසක් එහි දිව ආවේ, එම ලෝක පූජිත මහාර්ඝ කලා කෘතිය මෙන්ම, සිය දේවස්ථානය කෙසේ හෝ ගිනි රකුසාගෙන් විනාශව යා නොදී ගලවා ගැනීමටය. එහෙත්, ඒ ප්‍රයත්න සැම හමුවේ, සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යය, සක් සුදක් සේ ලොවට පසක් කරමින්, එහි ශිඛරය සහ වහලය ගින්නෙන් මුලුමනිම දැවී විනාශ වී, බිම පතිත විය. ගොඩනැගිලි සැකිල්ල සහ ඝන්ටාර කුළුණු යන්තමින් බේරා ගැනීමට හැකිවිය. ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක්, රූපවාහිනී තිරයෙන් එම ඛේදනීය දසුන් සජීවව නැරඹුහ. එදින, මුළු පෘථිවි තලයම "හෙල්ලුම් කෑ" සේ හැඟුණු බව ප්‍රංශ ජනපති මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය.
එහෙත්, අද එහි යළි විවෘත වීම, එදා ගින්න සේම ශක්තිමත් වූවක් සහ එයම, අපේක්ෂාවේ හද ගැස්ම මෙන් දැනෙන බව, විවෘත කිරීමේ උළෙල ඇමතූ ජනපති මැක්‍රන් ප්‍රකාශ කළේය.
අධික සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, සියලු උත්සව කටයුතු දේවස්ථානය තුළ සංවිධානය කර තිබිණි.
දේවස්ථානය ගින්නෙන් විනාශ වී යාම අතිශය ඛේදනීය සිදුවීමක් වුව, එය කඩිනමින් යළි පෙර පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට සමස්ත ප්‍රංශ වාසීන් ගත් අප්‍රතිහත උත්සාහය බෙහෙවින් ප්‍රීතියට කරුණකැයි, එය විවෘත කිරීමට සහභාගිවූවෝ පැවසූහ.
දේවස්ථානයේ ශිඛරය ගින්නෙන් දැවී විනාශව යනු සහ එය යළි ඉදි කරනු සිය කවුළු පියන් අතරින් සජීවව බලා සිටි බව ඇතැමෙක් පැවසූහ. නොත්‍රිදාම දේවස්ථානය සහ සිය ජීවිතය දෙකක් නොව එකකැයි ද බොහෝ පිරිස් කියා සිටියහ.
වඩු කාර්මිකයින්, ගල් වඩුවන්, වීදුරු නිර්මාණ කළා ශිල්පීන් ආදී කැටයම් සහ මෝස්‌තර ශිල්පීන්ගෙන් සමන්විත ලෝකප්‍රකට විශේෂඥයින් රැසක් දේවස්ථානය යළි ඉදිරිකිරීමට එක්වූහ.
එය ඉදි කිරීමට මුල් ගල් තබන ලද්දේ 1163 දීය. එතැන් සිට, ඉදිරි සියවස තෙක් එහි ඉදිකිරීම් සිදු වූ බව ඓතිහාසික වාර්තාවල සඳහන්ය. 17 සහ 18 ශතවර්ෂවලදී සිදු කෙරුණු ප්‍රතිසංස්කරණවලදී ඊට නව අංගයන්ද එක් කෙරිණි.
1831, වික්ටර් හියුගෝ විසින් රචිත 'නොත්‍රිදාමයේ කුදා' (The Hunchback of Notre-Dame) කෘතියේ මෙම දේවස්ථානය, පැරිසිය සහ ප්‍රංශය විදහා දැක්වූ අගනා සංකේතයක් විය. සමස්ත කෘතිය පුරා එම දේවස්ථානය පිලිබඳ කියැවිණි. එය අදටත්, ප්‍රංශ සාහිත්‍යයේ මුල් තන්හි ගැනෙන සම්භාව්‍ය කෘතියකි.
එහි එන කතා පුවත මුල් කරගනිමින් 1939 දී, ඇමෙරිකානු චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණි. එම කෘතිය සහ චිත්‍රපටය හේතුවෙන්, නොත්‍රිදාම දේවස්ථානය, ශ්‍රී ලාංකේය පාඨකයින් සහ ප්‍රේක්ෂකයින් අතරද ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
දේවස්ථානය ප්‍රතිසංස්කරණයට සහ ප්‍රතිස්ථාපනයට, යුරෝ මිලියන 840ක් වැය වූ බව ප්‍රංශ ජනපති කාර්යාලය පවසයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 882 ක අගයකි. එහි ඉදිරි අමතර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වුව, ඇති තරම් මුදල් පවතින බව ජනපති කාර්යාලය ප්‍රකාශ කළේය.
අද සිට ඒ වෙත වාර්ෂිකව මිලියන 15 ක සංචාරකයින් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
දේවස්ථානය නැරඹීමට අපේක්ෂා කරන දිනම හෝ ඊට දිනකට හෝ දෙකකට පසු එහි පැමිණීමට අද සිට මාර්ගගත ක්‍රම වේද, සමාජ මාධ්‍ය සහ විශේෂිත ජංගම යෙදුමක් ඔස්සේ ද නොමිලේ ප්‍රවේශපත් වෙන්කරවා ගත හැකි බව දේවස්ථාන පාලනාධිකාරිය පවසයි. කලින් ප්‍රවේශපත් වෙන් කර ගැනීමට නොහැකි වූ සංචාරකයින් හට, දේවස්ථාන දොරටුවෙන් ප්‍රවේශපත් ලබා ගැනීමේ අවස්ථා ද සලසා තිබේ.
සෑම ඉරු දිනකම ප.ව.5.30 සිට ප.ව.8.00 දක්වා දේවස්ථානය මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබේ. එය නැරඹීමට අද සිට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරෙන අතර දේවස්ථාන පරිශ්‍රය තුළට පිවිසීමට දිගු පෝලිම් දක්නට හැකිවනු ඇතැයි ද විශ්වාස කෙරේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






