ඉන්දීය නාවුක හමුදා යාත්‍රාවක් සහ මගී ප්‍රවාහන ෆෙරී යාත්‍රාවක් ගැටී පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.
අනතුර, ඊයේ (18) ඉන්දීය වාණිජ අගනුවර වන මුම්බායි නගරාසන්න මුහුදු සීමාවේ දී සිදු විය. අනතුර සිදුවන අවස්ථාවේ මගී යාත්‍රාවේ මගීන් 100කට අධික පිරිසක් ගමන් කරමින් සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය නාවුක හමුදාව මහත් පරිශ්‍රමයකින් පසු, මගී යාත්‍රාවේ සිටි අනතුරට පත් 99 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට සමත් විය.
මුම්බායි වරායේ සිට යාන්ත්‍රික පරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටි ඉන්දීය නාවුක හමුදාවට අයත් අධිවේගී යාත්‍රාවක් හදිසියේ පාලනයෙන් ගිලිහී යාමෙන් එම අනතුර සිදු විය. නාවුක යාත්‍රාව ගැටීමත් සමග, මගී යාත්‍රාව මුහුදේ ගිලී ගිය බව ඉන්දීය නාවුක හමුදාව එක්ස් (X) පණිවුඩයක් මගින් නිවේදනය කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ, නාවුක යාත්‍රාවේ පස් දෙනකු ගමන් කරමින් සිටි බව ඉන්දීය රූපවාහිනී දර්ශනවල දැක්වෙතැයි, රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි. අධිවේගී නාවුක යාත්‍රාව, මගී යාත්‍රාවේ ගැටීමත් සමග ඒ තුළට වේගයෙන් ජලය රැස් වූ බවත්, මගී යාත්‍රාවේ කපිතාන් ජීවිතාරක්ෂක කබා පැළඳ ගන්නා ලෙස පවසූ අතර, පසුව මගී යාත්‍රාව පෙරලී දියේ ගිලී ගිය බවත්, අනතුරින් දිවි ගලවාගත් මගීහු පැවසී යැයි රොයිටර්ස් සඳහන් කරයි.

ජීවිතාරක්ෂක යාත්‍රාවක් පැමිණෙන තෙක් මිනිත්තු 15ක් පමණ මුහුදේ පිහිනීමට සිදු වී යැයි, අනතුරින් දිවි ගලවා ගත් අයකු පැවසීය.
අනතුරින් මිය ගිය සහ විපතට පත් සියලු දෙනා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝකය ප්‍රකාශ කර සිටී. මිය ගිය එක් අයකු වෙනුවෙන්, පවුලේ ආසන්නතම සාමාජිකයින් වෙත ඉන්දීය රුපියල් 200,000ක් සහ විපතින් දිවි ගලවාගත් පුද්ගලයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක් බැගින් අග්‍රාමාත්‍යවරයාගේ ජාතික සහන අරමුදලින් වන්දි ලබා දෙන බවද අගමැති මෝදි පැවසීය.

පෞද්ගලික මගී ප්‍රවාහන සේවයකට අයත් නීල්කමල් නම් එම මගී යාත්‍රාව, අනතුර සිදුවන අවස්ථාවේ මුම්බායි සිට ඒ ආසන්නයේ පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එලිෆන්ටා ගුහා සංකීර්ණය වෙත යාත්‍රා කරමින් පැවති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
මෙම වසර පුරා විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් 5වන සහ 6 වන ශත වර්ෂවල ඉදිකෙරුණු, පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් එම ඓතිහාසික ගුහා සංකීරණය, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. ඒ වෙත නිරන්තර ඉන්දීය මගී යාත්‍රා සේවා ක්‍රියාත්මකය.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






