මධ්‍යම ඊශ්‍රායලයේ ස්ථාන රැසක අද ආරක්ෂක සයිරන් නලා හඬ නාද විය.
යේමනයේ සිට ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමග එම අනතුරු ඇඟවීම් සිදු කෙරිණි. යේමන රොකට් ප්‍රහාරය ඊශ්‍රායලයට ඇතුළු වීමට පෙර ගුවනේ විනාශ කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
ඉරානයේ සහාය ලබන යේමන ත්‍රස්තවාදීහු මීට පෙර සිට දිගින් දිගටම ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිති.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් ( Israel Katz ) ඊයේ (23) ප්‍රථම වතාවට හමාස් සංවිධානයේ හිටපු නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) ඝාතනයේ වගකීම ඊශ්‍රායලය විසින් භාර ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉකුත් ජුලි මස ඉරානයේදී ඔහුව ඝාතනය කෙරිණි.
ඉස්මයිල් හනියේ
"මේ දිනවල ඊශ්‍රායලය, යේමනයේ හුති ත්‍රස්ත සංවිධානයේ නිරන්තර මිසයිල ප්‍රහාරවලට ලක්වෙමින් පවතී. මම, මේ මොහොතේ, ඒ සියලු දෙනාට පැහැදිලි පණිවුඩයක් නිකුත් කරනවා. මතක තබා ගන්න, අපි හමාස් ත්‍රස්තවාදීන් විනාශ කර පරාජය කළා. අපි හිස්බුල්ලා සංවිධානයත් පරාජය කළා. අපි ඉරානයේ ආරක්ෂක පද්ධතිය රවටා, එහි අවි ආයුධ නිෂ්පාදනාගාර සහමුලින් විනාශ කළා. අපි සිරියාවේ අසාද් පාලනය ද උඩු යටිකුරු කර පෙරළා දැමුවා. අපි යක්ෂයාගේ හිස මත මරණීය ප්‍රහාර එල්ල කළා සේම, ඉතිරිව සිටින යේමනයේ හුති ත්‍රස්ත සංවිධානය ද මුලිනුපුටා දමනවා," යි කාට්ස් වැඩි දුරටත් පැවසීය.
හුති ත්‍රස්තයින් සතු සියළු උපක්‍රමික යටිතල පහසුකම් විනාශ කරන බවත්, ටෙහෙරානයේ, ගාසා තීරයේ සහ ලෙබනනයේදී හනියේ, සින්වාර් සහ නස්රල්ලා ඝාතනය කළ අයුරින්ම, හුති නායකයින්ගේ ද හිස් ගසා දමන බවත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තදින් කියා සිටියේය. එරට ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් ඇගයීමේ අවස්ථාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඉරානයේ සහාය හිමි යේමන ත්‍රස්තයෝ, වසරකට අධික කාලයක් තිස්සේ රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිති. ඊශ්‍රායලයට එරෙහිව ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පිණිස එසේ ප්‍රහාර එල්ල කරන බව යේමන හුති ත්‍රස්තවාදීහු පවසති.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






