තායිවාන නඩු පැවරුම් නිලධාරීහු, හිටපු තායිපේ නගරාධිපතිවරයකුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළැඹෙති.
එරට අගනුවර ප්‍රධාන පෙළ දේපල සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 522,392 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ දේශපාලන ආධාර අවභාවිතා කිරීම යටතේ ඔහුට එරෙහි එම නීතිමය පියවර ගෙන තිබේ.
තායිවාන මහජන පක්ෂය (TPP) නම්, සුළුතර විපක්ෂයක නායක ධුරයක් ද හොබවන කෝ වෙන්ජේ (Ko Wen-je) නම් ඔහු, 2014 - 2022 කාලයේ තායිපේ නගරාධිපති ධුරය හෙබවීය. ඔහු එම පක්ෂයේ නිර්මාතෘ ද වේ.
කෝ වෙන්ජේ
පසුගිය ජනවාරි මස පැවති එරට ජනපතිවරණයෙන්, ඔහු තෙවන ස්ථානය දිනාගත්තේය. තායිවාන විමර්ශන නිලධාරීහු ඔහුගේ නිවස සහ පක්ෂ කාර්යාලය දැඩි සෝදිසි කිරීමට ලක් කළ අතර පැය ගණනක දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව, ඉකුත් අගෝස්තු මස ඔහුව අත්අඩංගුවට ගැනිණි.
එම දේපල සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව තමාට එල්ල වන චෝදනා සියල්ල ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. දේපල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, වෙළඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නගරාධිපති ලෙස ඔහුගේ අනුමැතිය හිමි විය. පක්ෂ ආධාර ලෙස ලැබුණු තායිවාන ඩොලර් මිලියන 18 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙන්ම ඔහුගේ පක්ෂ සාමාජිකයින් පිරිසකට ද චෝදනා එල්ල වී තිබේ.
පසුගිය ජනපතිවරණයට අදාලව මැතිවරණ අරමුදල් ගණනය කිරීම් සම්බන්ධ වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම් ව නිකුත් කර ඇතැයි, ඔහු සහ එම පක්ෂ සාමාජිකත්වය චෝදනා කර සිටිති.
පසුගිය ජනපතිවරණයට අදාලව මැතිවරණ අරමුදල් ගණනය කිරීම් සම්බන්ධ වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම් ව නිකුත් කර ඇතැයි, ඔහු සහ එම පක්ෂ සාමාජිකත්වය චෝදනා කර සිටිති.
ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කෝ හට වසර 28ක සිර දඬුවම් පමුණුවන ලෙස නීතිවේදීහු අධිකරණයෙන් ඉල්ලා සිටිති. තායිවාන ඩොලර් බිලියන ගණනක්, කුඩා සාමූහිකයක් වෙනුවෙන් අනීතිකව පරිහරණය කර ඇති බවට එම චෝදනා මගින් කරුණු දක්වා තිබේ. පක්ෂ ආධාර ලෙස ලද තායිවාන ඩොලර් මිලියන ගණනක් ඔහු විසින් අවභාවිතා කර ඇති බවටද තායිපේ දිස්ත්‍රික් නඩු පැවරුම් නිලධාරී කාර්යාලය අද නිවේදනය කළේය.
හිටපු නගරාධිපතිවරයා 2028 මීළඟ තායිවාන ජනපතිවරණ ජය අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටී. එහෙත්, නව චෝදනා හමුවේ, ඔහු අපේක්ෂා භංගත්වයට පත්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. තායිවාන දේශපාලනයේ තෙවන බලවේගය බවට පත් වීමේ අපේක්ෂාවෙන් 2019 දී ඔහුගේ තායිවාන මහජන පක්ෂය ආරම්භ කෙරිණි. ආසන 113ක් සහිත එරට පාර්ලිමේන්තුවේ එම පක්ෂය දිනා ඇත්තේ ආසන 8ක් පමණි.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






