ඊශ්‍රායල හමුදා ඊයේ (26) ඉරාන හිතවාදී යේමනයේ හුති ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.
එරට සනා (Sanaa) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ද එම ප්‍රහාර එල්ල විය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනකුවත් ඝාතනය වී ඇතැයි, හුති මාධ්‍ය පවසයි.
තමා සනා ගුවන්තොටුපොළින් ගුවන් ගතවීමට, ගුවන් යානයට පිවිසීමට "ඔන්න මෙන්න" කියා තිබියදී, එය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වී යැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස් (Tedros Adhanom Ghebreyesus) ප්‍රකාශ කළේය. ප්‍රහාරයෙන්, එම ගුවන් යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයකු ද තුවාළ ලැබූ බව හෙතෙම පැවසීය.
අත්අඩංගුවේ සිටින එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීම සහ යේමනයේ මානුෂීය තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගෙබ්‍රෙයේසස් එරට සංචාරයක නිරත විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රොස් අධනොම් ගෙබ්‍රෙයේසස්
"අප සනා ගුවන් තොටුපොළින් ගුවන් යානට පිවිසීමට කටයුතු කරමින් සිටි මොහොතක, එය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයට ලක් වුණා. ගුවන් තොටුපොළේ අප සිටි තැනට මීටර කිහිපයකට එපිටින් පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය, පිටවීමේ පර්යන්තය සහ ගුවන් යානා ධාවන පථය ද එම ප්‍රහාරවලින් විනාශ වනු අප දුටුවා. අප කිසිවකුටත් අනතුරක් නැහැ," යි ඔහු පැවසීය.
ඊයේ ඊශ්‍රායල ප්‍රහාරය, කලාපයේ ගැටුම් වර්ධනය ඉලක්ක කළ සුවිශේෂී සිදුවීමක් බව ගෙබ්‍රෙයේසස් අවධාරණය කළේය. කලාපයේ ගැටුම් වර්ධනය සහ ඒ සම්බන්ධ සියලු හමුදා ක්‍රියාන්විත වහා නතර කරන ලෙස ඔහු සියළු පාර්ශ්ව වෙතින් උදක්ම ඉල්ලා සිටී.
සනා ගුවන්තොටුපොළ සහ රතු මුහුදේ වරායයන් ඉලක්ක කර සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර, පීඩාවට පත් මිලියන ගණනක සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා සිදු කෙරෙන එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහනට එල්ල වූ මරු පහරක් බවද ඔහු ප්‍රකාශ කළේය.
යේමන ගුවන් තොටුපොළට අමතරව, එරට බටහිර වෙරළේ පිහිටි හොදෙයිදා (Hodeidah), සාලිෆ් (Salif ) සහ රාස් කැනටිබ් (Ras Kanatib) යන වරායයන්හි හමුදා යටිතල පහසුකම් ද ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. හෙස්යාස් (Hezyaz) සහ රාස් කැනටිබ් හි පිහිටි යේමන විදුලි බලාගාර ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් විනාශ කෙරිණි.
ගුවන්තොටුපොළ ප්‍රහාරයෙන් තිදෙනකු සහ හොදෙයිදා වරායට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනකු ඇතුළු පුද්ගලයින් 6 දෙනකු ඊයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මරුමුවට පත්වී, 40 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයි, හුති පාලනය යටතේ ඇති සබා (Saba) පුවත් ඒජන්සිය පවසයි.
ඊයේ ඊශ්‍රායල ප්‍රහාරවලට වහා පිළිතුරු ලබා දෙන බවත්, ළඟ එන "එක පිට එක" ප්‍රහාරයන්ට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසත්, සිය, අල් මසීරා (Al Masirah) රූපවාහිනිය ඔස්සේ, හුති සංවිධානය අනතුරු අඟවා සිටී.
ගාසා තීරයේ සටන් හේතුවෙන් විපතට පත්ව සිටින පලස්තීන ජනතාවට සහාය පල කිරීමක් ලෙස හුති ත්‍රස්තයෝ දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටිති.
සනා (Sanaa) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ද එම ප්‍රහාර එල්ල විය
ඊශ්‍රායලය තවමත් හුති සංවිධානය විනාශ කිරීමේ මුල් අදියරේ පසුවන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. මීට පෙර දකුණු ලෙබනනයේ හිස්බුල්ලා බලකායයන් සහ සිරියානු හමුදා සතු උපක්‍රමික අවි ද දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ කෙරිණි.
සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ හොදෙයිදා වරාය අද සිට සාමාන්‍ය මෙහෙයුම් සඳහා යළි විවෘත කෙරෙන බව හුති ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.
වසරකට අධික කාලයක් තිස්සේ රතු මුහුදේ ජාත්‍යන්තර නෞකා මාර්ග පද්ධතිය වෙත එල්ල කෙරෙන හුති ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන්, භාණ්ඩ හා සේවා සැපයුමට, ඉතා දිගු කලක් සහ අධික වියදමක් දැරීමට සිදු වන විකල්ප නෞකා මාර්ග භාවිතා කිරීමට නැව් සමාගම්වලට සිදු ව ඇත. එය, මේ වන විට ගෝලීය උද්ධමනය ඉහළ යාම කෙරෙහි ද අහිතකර ලෙස බලපා තිබේ.
ඊශ්‍රායලයට එරෙහි හුති ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලබන සඳුදා (30) රැස්වේ.
පසුගිය සෙනසුරාදා (21) යේමනයේ සිට එල්ල කෙරුණු හුති මිසයිලයක් විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා ගත් උත්සාහය ව්‍යර්ථ විය. ටෙල් අවිව් අගනුවර, ජෆා (Jaffa) ප්‍රදේශය වෙත එල්ල කළ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියෝ 14 දෙනෙක් තුවාළ ලැබූහ.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






