හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඉකුත් වසරේ එරට හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ වරදට වසර 2 සිට 10 තෙක් එම සිර දඬුවම් පනවා තිබේ. දඬුවම් නියමවූවන් අතර, ඛාන් පවුලේ ඥාතියකු සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් දෙදනකු ද වන බව හමුදා මාධ්‍ය අංශය පවසයි.
එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් වසරේ අත්අඩංගුවට ගැනීමත් සමග රට පුරා මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ හට ගත්තේය. පාකිස්ථානයේ බලවත් හමුදා ජෙනරාල්වරුන්ට එරෙහිව, දැවැන්ත ජන අරගලයක් දියත් කෙරුණු අතර, හමුදා මධ්‍යස්ථාන සහ පහසුකම් ඉලක්ක කර ජනතාව ප්‍රහාර එල්ල කළහ.

සමස්ත ජාතිය, රජය සහ පාකිස්ථාන හමුදා ස්ථාවරත්වය තහවුරු කර ඇති බවත්, ව්‍යවස්ථාපිත කිසිදු ආඥාවක් උල්ලංඝනය නොවන පරිදි සාධාරණය උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින බවත් පාකිස්ථාන හමුදාව ප්‍රකාශ කරයි.
නව තීන්දුවත් සමග, හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහි චෝදනා විමර්ශනයට හමුදා අතපෙවීම් වර්ධනය වී ඇතැයි ඔහුගේ ආධාරකරුවෝ සැක පළ කරති. ඛාන්ට එරෙහි චෝදනා අතර, එරට හමුදා වෙත පහර දීමට ජනතාව පෙළඹවීම ද ඇතුළත්ය.
පාකිස්ථාන සිවිල් වැසියන්ට හමුදා අධිකරණ තීන්දු මත සිර දඬුවම් පැමිණවීම ජාත්‍යන්තරයේ විමසීමට ද ලක්ව තිබේ. හමුදා අධිකරණයක් මගින් සිවිල් පුරවැසියන් සම්බන්ධ තීන්දු තීරණ ලබා දීම විනිවිද භාවය පිලිබඳ ගැටළු මතුකරන්නක් යැයි, එක්සත් රාජධානියේ විදෙස් කටයුතු පිලිබඳ කාර්යාලය පවසයි. එමගින්, සාධාරණ පරීක්ෂණයකට සහ සිවිල් අධිකරණයක තමන්ට එරෙහි නඩු පසිඳලීමකට සිවිල් පුරවැසියන් සතු අයිතිය උල්ලංඝනය කෙරෙන බව එම කාර්යාලය පෙන්වා දෙයි.
පාකිස්ථාන හමුදා අධිකරණ තීන්දුව යුරෝපීය සංගමයේද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එය සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ පාකිස්ථානය විසින් එළැඹ ඇති ජාත්‍යන්තර ගිවිසුමට පටහැනි බව ද එම සංගමය අවධාරණය කරයි.
එහෙත්, එම හමුදා අධිකරණ තීන්දුවෙන් කිසිසේත්, සාධාරණ අධිකරණමය කටයුතු පිණිස පවතින සිවිල් අයිතීන් උල්ලංඝනය නොකෙරෙන බව පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. සිර දඬුවම් නියම කෙරුණු සෑම පුද්ගලයකුටම නීතීඥ සහාය ලබා ගැනීමේ සහ පවුල් සාමාජිකයින් ආමන්ත්‍රණය කිරීමේ පහසුකම් පවතින බවත්, දෙවරක් හමුදා හෝ සිවිල් අධිකරණ යන දෙකින් එකක ඉහළ අධිකරණයේ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.

සිරදඬුවම් හිමි වුවෝ ඒ සම්බන්ධයෙන් සිය නිරවද්‍ය භාවය පවසන අතර, තමාට එරෙහි සියලු චෝදනා, දේශපාලන හේතූන් මත ඉදිරිපත් කර ඇතැයි, ඛාන් පවසයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාසහ ඔහුගේ ආධාරකරුවන් සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු කර නැතැයි පවසන පාකිස්ථාන හමුදාව සහ රජය, එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






