leader s

පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් ධුරය අත්හිටවූ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සුක් යියෝල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ගත් උත්සාහය අද වැළකී ගියේය.
ජනාධිපති ආරක්ෂක අංශ සහ එරට හමුදා එක්ව, එම උත්සාහය ව්‍යර්ථ කළහ.
 
පැය හයකට ආසන්න කාලයක් ජනපති පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති බව රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි. හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන්ගේ ආරක්ෂාව තකා, ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ බව රජය පැවසීය.
දකුණු කොරියානු අධිකරණයක් එරට හිටපු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගැනීමට ඉකුත් මස 31 දා වරෙන්තු නිකුත් කළේය. 


පසුගිය වසරේ දෙසැම්බර 03වන දින, එරට හමුදා නීතිය පැනවීමට ඔහු ගත් තීරණය හමුවේ, ඔහුට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින්, යූන් ජනපති ධුරයේ කටයුතු කිරීම අත්හිටවිණි. ඔහු විසින් පනවන ලද හමුදා නීතියද වහා ඉවත් කර ගැනීමට සිදු විය.

 


ඉන්පසු, ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි. ධුරයේ කටයුතු අත්හිටවූ දකුණු කොරියානු ජනපතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ ප්‍රථම අවස්ථාව එය වේ.  

ජනාධිපති ආරක්ෂක අංශ සහ හමුදා අංශවල දැඩි ස්ථාවරය හමුවේ, හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළකී ගිය බව, අද, එරට උසස් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වන දූෂණ විමර්ශන කාර්යාලය දන්වා සිටියේය.

හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට විරෝධය පා, ඔහුගේ ආධාරකරුවෝ විශාල සංඛ්‍යාවක් ද අද අළුයම සිට යූන්ගේ නිවෙස අසල රැඳී සිටියහ. මහජනතාව විසින්  හිටපු ජනපතිවරයා ආරක්ෂා කරන බවත්, ඔහු අතහැර රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වන දූෂණ විමර්ශන කාර්යාල ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙසත්, උද්ඝෝෂකයෝ හඬ නැගූහ.

යූන් අත්අඩංගුවට ගැනීමට සහායට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට ද උද්ඝෝෂකයින්ගේ විරෝධය එල්ල විය. 

හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවෙස වෙත ගොස් තිබුණේ, එරට වේලාවෙන්, අද උදෑසන 7 ට පමණය. ඔවුන්, එම පරිශ්‍රයට ඇතුළු වනවාත් සමගම, ජනපති ආරක්ෂක අංශයේ විශාල පිරිසක් සහ ඊට නොදෙවැනි හමුදා භට පිරිසක් එම නිලධාරීන්ගේ මග හරස් කරමින්, ඔවුන්ට  එරෙහිව කටයුතු කළහ.  

 


200කට අධික සංඛ්‍යාවකින් යුත් එම ආරක්ෂක පිරිස්, වට කිහිපයකින් සැදී මිනිස් දම්වැලක් සේ එක්ව, දූෂණ විමර්ශන කාර්යාල නිලධාරීන්ගේ සහ පොලිසියේ  රාජකාරිය අවහිර කළහ. ජනපති ආරක්ෂක අංශ සහ හමුදා භටයින් ගිනි අවි අත දරා සිටි බව ද වාර්තා වේ. 

එම සමස්ත කාලය පුරාවට යූන් දක්නට නොවූ බව, ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීහු පසුව පැවසූහ. යූන් ගේ සහායට එක්ව සිටි හමුදා භට පිරිස්, ජනපති ආරක්ෂක අංශය යටතේ ක්‍රියාත්මක බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එරට වේලාවෙන් අද ප.ව.1.30 ට පමණ හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමේ පියවර පසෙක ලා එම නිලධාරීන්ට සහ පොලිසියට  ආපසු හැරී එන්නට සිදු විය. එම නිලධාරීන්ගේ ආරක්ෂාව පතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමට උපදෙස් නිකුත් කළ බව විමර්ශන කාර්යාල ප්‍රධානියා දැනුම්  දුන්නේය.

අධිකරණ තීන්දුවට අවනත නොවීම සම්බන්ධයෙන් ඔහු හිටපු ජනපතිවරයාට සිය අප්‍රසාදය පළ කළේය. අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ මීළඟ පියවරට යන බව ඔහු දැන් කියා සිටී. 

 



අධිකරණ වරෙන්තුවක් මත හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමේ රාජකාරියට පැමිණි නිලධාරීන්ට බාධා කර කැරළි ගැසීම සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශ ප්‍රධානී සහ නියෝජ්‍ය ප්‍රධානී දෙපළට පොලිසිය අපරාධ චෝදනා එල්ල කර සිටී. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෙට (04) දින පෙනී සිටින ලෙස පොලිසිය විසින් ඔවුන්ට දන්වා යවා තිබේ. 

හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් යූන්, දකුණු කොරියාවට එරෙහි කැරැල්ලකට නායකත්වය දුන් බව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇත. රජයට එරෙහි කැරළි ගැසීම හෝ සංවිධානය කිරීම එරට ජනාධිපතිවරයකුට මුක්තියේ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කළ නොහැකි චෝදනා අතරින් එකකි.

අද දින, හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමේ තැත වැළකී යාමත් සමග විශේෂ ප්‍රකාශයක් කළ ඔහුගේ නීතීඥ කණ්ඩායම, එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ජනපතිවරයා පිලිබඳ විමර්ශනය කිරීමට උසස් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වන දූෂණ විමර්ශන කාර්යාලයට කිසිදු බලයක් නැතැයි, ප්‍රකාශ කළහ.

එබැවින්, අනීතික සහ කිසිදු වලංගු භාවයකින් තොර අත්අඩංගුවට ගැනීමේ සහ සෝදිසි වරෙන්තුවක් මත බලහත්කාරයෙන් ක්‍රියා කිරීමට යත්න දැරීම පිලිබඳ ඔවුන් විසින්  එම කාර්යාල ප්‍රධානියාට චෝදනා එල්ල කර තිබේ. ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඔවුහු පොලිසියට ද අනතුරු ඇඟවූහ. 

 

sk iue
හිටපු ජනපතිවරයාට එරෙහි විමර්ශන සිදු කළ යුත්තේ, ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් තොරව බව ඔහු අයත් මහජන බලය පක්ෂය (People Power Party ) පවසයි. අද අත්අඩංගුවට ගැනීම සිදු කළේ නම්, හිටපු ජනපතිවරයා අත්අඩංගුවේ රඳවා තබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හිමි වන්නේ  පැය 48 ක කාලයක් පමණි. ඊට අමතර කාලයක් අවශ්‍ය වන්නේ නම්, ඔවුන් විසින් රැඳවුම් නියෝග ඉල්ලා සිටිය යුතුය. නොඑසේව, හිටපු ජනපතිවරයා මුදා හළ යුතුය. 

ඔහු විසින් එරට හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පෙනී සිටින ලෙස මීට පෙර හිටපු ජනපතිවරයාට දන්වා යැවුවද, ඊට අවනත නොවීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ලබන 6 දා තෙක් බල පැවැත්වෙන පරිදි වරෙන්තු නිකුත් කෙරිණි.

හිටපු ජනපතිවරයාට එරෙහි දෝශාභියෝග නඩුව, මේ වන විට එරට ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙමින් පවතී. එහිදී නිකුත් කෙරෙන තීන්දුව මත, ඔහු යළි ධුරයේ ස්ථාපිත කරන්නේද, ස්ථිර ලෙස තනතුරින්  ඉවත් කරන්නේද යන්න තීරණය කෙරේ. නඩුව දෙවන වර කැඳවීම අද සිදු කෙරිණි. එහි පළමු වාචික විවාද ලබන 14 වැනිදාට යෙදී තිබේ. එම පළමු වාරයට යූන් නොපැමිණෙන බවත්, සිය ස්ථාවරය සම්බන්ධයෙන් වාචික විවාද පිණිස, ඉදිරි නඩු වාරයකට සහභාගී වීමට අපේක්ෂා කරන බවත්, ඔහුගේ නීතිඥයෝ පවසති. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්