"මා ජනපති අසුනේ හිඳ ගැනීමට පෙර සටන් විරාමයකට නාවොත් ආයෙ, නොකීවා කියන්න එපා," යයි ඇමරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත සිදු කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ. එම ප්‍රහාර හේතුවෙන්, දෙදිනක් වැනි කෙටි කාලයක් තුළ පලස්තීනුවන් 110කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මාස 15ක් පමණ ගතවී ඇති ඊශ්‍රායල-පලස්තීන යුද්ධය තව දුරටත් දිග් ගැසෙන ලකුණු ඔස්සේ, සටන් විරාම ප්‍රයත්න ද අතහැර දමා නැත.
ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම මස 20 දින, එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය. ඊට පෙර ගාසා ඉක්මන් සටන් විරාමයකට පිවිසීමට සහ හමාස් අත්අඩංගුවේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ඇති අවසන් දින කිහිපය මෙය වේ.
දෝහා රාජ්‍යයේද සහාය ඇතිව, කටාර් සහ ඊජිප්තු රාජ්‍යයන්, සටන් විරාම සාකච්ඡාවන්හි ප්‍රධාන මැදහත්කරුවන් ලෙස කටයුතු කරයි. අදාළ සාකච්ඡා සාර්ථක කරගැනීම පිණිස, ඊශ්‍රායල පාර්ශ්ව නියෝජිතයින් ද දෝහා බලා පිටත්ව ගොස් තිබේ.
එම සාකච්ඡා සඳහා සහාය දක්වන එක්සත් ජනපදය ද, ඊශ්‍රායල පාර්ශ්වයෙන් ගෙන එන යෝජනාවලියට එකඟ වන ලෙස හමාස් සංවිධානයට දැනුම් දී ඇත. ඉක්මන් සටන් විරාමයකට කැප වී කටයුතු කරන මුත්, දෙපාර්ශ්වය එහි සාර්ථකත්වය වෙත කෙතෙක් ලඟා වී ඇති දැයි, තවමත් අවිනිශ්චිත බව හමාස් නායකයෝ පවසති.
පසුගිය බ්‍රහස්පතින්දා (02) පමණක්, ගාසා ගැටුම්වලින් අල්මවාසි හි පලස්තීනුවෝ 71 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගාසා තීරයේ දකුණුදිග ඛාන් යුනිස් සහ මවාසි මානුෂීය කලාපය ද එම ප්‍රහාරවලට ලක් විය. ඊයේ (03) ද මධ්‍යම ගාසා තීරයේ එම ප්‍රදේශයන්හි ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගල මරණ 40ක් සිදුවී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මීට පෙර, මධ්‍යම ගාසා තීරය, ඊශ්‍රායලය විසින් මානුෂීය ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබිණි.
පසුගිය දින කිහිපය තුළ, හමාස් ත්‍රස්තයින් ඒකරාශී වන ස්ථාන 40ක් පමණ හඳුනා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති. ඔවුන් සතු අණ දෙන සහ පාලක මධ්‍යස්ථාන ද ඒ අතර වී යැයි, එම හමුදා කියති. ප්‍රහාර අතරතුර සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානි අවම කිරීමට පියවර ගෙන ඇතැයි ද, ඉලක්කය හඹා යන නිවැරදි මූනිස්සම් භාවිතය, ගුවන් සෝදිසි මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු මගින් ඉලක්ක හඳුනා ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ සිවිල් වැසියන් අනවශ්‍ය ලෙස යුද්ධයට මැදි වීම වළකා ඇතැයි ද, ඊශ්‍රායල හමුදා පවසති.
මීට පෙර ගාසා පාලන බලය නතු කර සිටි හමාස් ත්‍රස්තාවාදීන්, පාසල් වැනි පොදු ගොඩනැගිලි තුළ සිට සිවිල් වැසියන්ට මුවා වී ප්‍රහාර සිදු කරන බව ඊශ්‍රායල හමුදාවල නිරන්තර චෝදනාව වී තිබේ. එම හමුදා අදාළ ස්ථානයන්හි සිදු කළ භූමි සෝදිසි මෙහෙයුම්වලදී, හමාස් ත්‍රස්තයින්ට අයත් අවි විශාල ලෙස හමුවන බව ඔවුහු කියා සිටිති. හමාස් සංවිධානය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඊයේ, මධ්‍යම ගාසා තීරයේ අල්-බුරේජ් (al-Bureij) වෙතින්, මානුෂීය කලාපය වෙත වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා සිවිල් වැසියන්ට දැනුම් දුන්නේය. එම ප්‍රදේශයේ සිට එල්ල කළ රොකට් ප්‍රහාරයක් පිලිබඳ ඊශ්‍රායල සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට පෙර, එම අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
ගාසා තීරයේ උතුරු කෙළවර සහ අනෙකුත් ප්‍රදේශයන්හිද, හමාස් අවි ගබඩා සහ පොළොව අභ්‍යන්හාරයේ ඉදිකර ඇති හමාස් යටිතල පහසුකම් සොයා, පසුගිය මාස කිහිපය පුරාවට ඊශ්‍රායල හමුදා අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටිති. මේ වනවිට, ගාසා තීරයේ සටන් වලින්, පලස්තීනුවෝ 45,658 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
දෙපාර්ශ්වය අතර පැහැදිලි සටන් විරාමයක් පිණිස මෙතෙක් ගත් සියලු පියවර අසාර්ථක ව තිබේ. සටන් විරාමයකට එකඟතාව පළකරන්නේ, ඊශ්‍රායලය, ගාසා තීරයේ සටන් නවත්වා පසුබසින්නේ නම් පමණක් බව, හමාස් සංවිධානය දිගින් දිගටම කියා සිටී. විරාමයකට එකඟ වන්නේ හමාස් සංවිධනය සමස්ත වශයෙන් විනාශ කර පරාජය කිරීමෙන් පසු පමණකැයි, ඊශ්‍රායලය පවසයි.
දැන්, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සෑම 'අස්සක් මුල්ලක්ම' පීරා එහි බලය තහවුරු කර සිටිති. වත්මන, එහි පවත්නේ, දරුණු ගරිල්ලා යුද තත්ත්වයකි. විනාශව ඇති ගොඩනැගිලි සුන්බුන් වලට මුවා වී හමාස් ත්‍රස්තයෝ, ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිති.
ගිම්හානය අවසාන වත්ම, ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ දැඩි සහ අඛණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කළේය. දකුණු ගාසා තීරයද තවමත් දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට නතුව පවතී.
පසුගිය දෙසැම්බර 28 දා පුද්ගල මරණ 48ක්, 22 දා මරණ 58ක් සහ 20 දා මරණ 77ක් ලෙස, ගාසා තීරයේ සටන් වලින් පසුගිය දින කිහිපය තුළ සිදු වූ එක දින මරණ සංඛ්‍යාව වාර්තා වන බව, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. එම සංඛ්‍යා ලේඛන දත්ත අනුව, ඉකුත් නොවැම්බරයේ සිදුවූ පුද්ගල මරණ 1,170ට සහ ඔක්තෝබරයේ මරණ 1,621 ට සාපේක්ෂව, දෙසැම්බරයේ මරණ 1,124 ක වැඩි වීමක් පෙන්නුම් කරන බව ගාසා සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
ගාසා තීරයේ පූර්ණ සහ තිරසර සටන් විරාමයක් ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායල හමුදා මුළුමනින්ම ඉන් ඉවත් විය යුතු බව හමාස් සංවිධානය ඊයේ ද ප්‍රකාශ කළේය.
වත්මන් එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්, වහා සටන් විරාමයකට යන ලෙස දෙපාර්ශ්වය වෙතින් දිගින් දිගටම ඉල්ලා සිටියද, මෙතෙක් ඵලක් වී නැත.
සිය ධුරයේ කටයුතු සමාරම්භයට පෙර, එය සිදු නොවුණහොත්, කිසිදු වග විභාගයකින් තොරව අපාය හමාස් ත්‍රස්තයින් මත කඩා වැටෙනු ඇතැයි, හෙට අනිද්දා එකසත් ජනපදයේ නව ජනපති ධුරය භාර ගැනීමේ නොතිත් ආශාවෙන් පසුවන, ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






