අග්නිදිග ඕස්ට්‍රේලියාවේ, තාප තරංග බලපෑම අද දින ඉතා උග්‍ර ලෙස වැඩි වී ඇතැයි වාර්තා වේ.
පරිසර උෂ්ණත්වය ඉහළ යාමෙන්, ලඳු කැලෑ ආශ්‍රිත ලැව් ගිනි බිය හේතුවෙන්, එරට වික්ටෝරියා ප්‍රාන්තයේ, බාහිර පරිසරයේ ගිනි ආශ්‍රිත සියළු ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
ලඳු කැලෑ ලැව් ගිනි සමය හමුවේ ඔස්ට්‍රේලියාව පූර්ව විපත් පෙර සූදානම තර කර තිබේ.
ඉකුත් සතියේ එරට ගිනි භටයෝ, වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ (Grampians National Park) හටගත් ලැව් ගිනි පාලනයට ඉමහත් පරිශ්‍රමයක් දැරූහ. නිවාස සහ ගොවි බිම් රැසක් පීරා එම ගින්න පැතිර ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
එරට දෙවන විශාලතම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවිය හැකි බවට කාලගුණ මධ්‍යස්ථානය අද නිවේදනය කළේය. අද, මෙල්බර්න් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යනු ඇතැයි ද කාලගුණ අනාවැකි පළ කර ඇත.
දැනටමත් සෙල්සියස් අංශක 32.9 ක උෂ්ණත්ව සීමාවේ පවතින නිරිත දිග ඕස්ට්‍රේලියාවේ මිල්ජ්යුරා (Mildura) නුවර උෂ්ණත්වය, සෙල්සියස් අංශක 42 තෙක් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබේ. පෙර වසරවලට සංසන්දනාත්මකව, එය ජනවාරි මස සාපේක්ෂ උෂ්ණත්ව අගය ද ඉක්මවා යාමකැයි, කාලගුණ විද්‍යාඥයෝ පවසති.
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසක දෙවන පෙළ, ඉහළම ගිනි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය උපරිම අගයට පැමිණෙනු ඇතැයි ද කාලගුණ කාර්යංශය පවසයි. එය ඉහළම ගිනි අවදානම් තත්ත්වයක් බව ද එම කාර්යංශය කියා සිටී. බටහිර ඔස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්ත, නිව් සවුත් වේල්ස් සහ ටැස්මෙනියාව වෙතද, අද, තාප තරංග බලපෑම හමුවේ උෂ්ණත්වය ඉහළ යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

තත්ත්වය යම් තාක් දුරට සමනය කිරීමේ ශීත සුළං ප්‍රවාහ අද රාත්‍රිය වන විට අග්නිදිග ඔස්ට්‍රේලියාව වෙත හමා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2019-2020 කාල වකවානුවේ, 'කළු ගිම්හානයේ' (Black Summer) හටගත් දරුණු ලැව් ගිනිවලට සාපේක්ෂව, එරට මෑත කාලීන ලැව් ගිනි වකවානු යම් තාක් සන්සුන් ස්වභාවයක් ගත් බව කාලගුණ අංශ කියා සිටී. ඔස්ට්‍රේලියාවේ, 'කළු ගිම්හානයේ' හටගත් ලැව් ගිනි හේතුවෙන්, තුර්කිය හා සමාන භූමි ප්‍රමාණයක් විනාශ විය. ඉන් ඔස්ට්‍රේලියානුවෝ 33 දෙනෙක් සහ වන සතුන් බිලියන ගණනක් මිය ගියහ.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






