ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (04), 70කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 17 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූයේ, ගාසා නගරයේ නිවාස දෙකක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි.
ඊයේ අළුයම දෙකේ සිට එම ප්‍රහාර එල්ල කෙරුණු බව ප්‍රදේශ වාසීහු පවසති. මිය ගිය වැඩි පිරිස කාන්තාවන් සහ කුඩා ළමෝ වෙති.
ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළ කිසිවෙක් එහි නොවූ බව ද ප්‍රදේශවාසීහු පවසති. එය මුළුමනින්ම අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් බව ඔවුහු කියා සිටිති.
ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලි සුන් බුන් අතර තවමත් සිරවී සිටින පුද්ගලයින් සොයා ප්‍රදේශවාසීහු දිගින් දිගටම වෙහෙසකර කාර්යයක නිරත වෙමින් සිටිති. ගොඩනැගිලිවලට යටවී තිබී හමුවන බොහාමයක් මළ සිරුරු කුඩා දරුවන්ගේ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසති. ප්‍රහාරයෙන් පැය ගණනකට පසුවද, නිවෙස් තුළ වූ ගෘහ භාණ්ඩ තවමත් ගිනි ගනිමින් ඇතැයි වාර්තා වේ.
ගාසා නගරයේ, තවත් නිවාසයක් වෙත ඊයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනකුවත් මිය ගොස් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනකුවත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇතැයි, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරති.
උතුරු ගාසා තීරයේ බෙයිට් හනෞන් හි ඉකුත් සතියේ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදා පවසති. හමාස් ත්‍රස්තවාදීන්ට අයත් එහි වූ හමුදා සංකීර්ණයක් මුළුමනින්ම විනාශ කළ බව ඊශ්‍රායල හමුදා කියා සිටිති. පසු ගිය තෙමස තිස්සේ එම ප්‍රදේශයන්හි ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත තර කර තිබේ.
ඊයේ, හමාස් සංවිධානය සිය අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල හමුදා සාමාජිකාවක වන ලිරී ඇල්බග් (Liri Albag) ගේ වීඩියෝවක් මුදාහැරීමට කටයුතු කළහ. ඊශ්‍රායල ක්‍රියාන්විත හමුවේ ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත දිනෙන් දින තර්ජනයට ලක්වෙමින් ඇති බවත්, ඊශ්‍රායල පාර්ශ්වයෙන් ගැටලුවට වහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙසත්, ඇය එහි ප්‍රකාශ කරයි.
ප්‍රාණ ඇපකරුවන් නිරුප්‍රදිතව රැගෙන ඒමට අවශ්‍ය සියළු පියවර ගන්නා බවත්, හමාස් ත්‍රස්තයින් විසින් ජීවග්‍රහයෙන් ගෙන සිටින ඒ කිසිවකුටත් හානියක් සිදු කළ හොත්, කිසිදු සමාවක් අපේක්ෂා නොකරන ලෙසත්, එම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටී.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






