අද තිබ්බතයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් අවම වශයෙන් 95 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, චීන මාධ්‍ය පවසයි.
නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශව පවතී.
ස්වභාවික විපතින් තිබ්බත පාර්ශ්වයේ පුද්ගලයින් 130කට වැඩි පිරිසක් තුවාළ ලබා ඇත.
ආරක්ෂක සාමාජිකයින් සහ ගිනි භටයින් ඇතුළු 1500කට අධික ප්‍රාදේශීය සහන සේවක කණ්ඩායමක් පශ්චාත් විපත් සහන ක්‍රියාන්විතවල නිරතව සිටිති.
චීන ජනපති ෂී ජින්පින්, භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස කඩිනම් ඒකාබද්ධ මෙහෙයුමකට උපදෙස් නිකුත් කළේය.
භූ කම්පනයට ලක් වූ තිබ්බත ෂිගත්සේ (Shigatse) පළාත, 800,000කට අධික ජනගහණයකින් යුත් ප්‍රදේශයකි. එහි නිවාස බොහොමයක් මුළුමනින්ම 'බිමට සමතලා' වී ඇතැයි, තිබ්බත ගිනි ආරක්ෂක ඒකකය පැවසීය.
විනාශව ගිය නිවෙස් සුන් බුන් වලට සිරවී සිටින්නන් සොයා, සහන සේවකයෝ තවදුරටත් අසීරු මෙහෙයුම් හි නිරතව සිටිති.
භූ කම්පනය සිදු වූ ප්‍රදේශයේ හිමාලය තරණය කෙරෙන උතුරු ද්වාරය පිහිටා තිබේ. චීනය, එරටට අයත් එවරස්ට් කඳු තරන කලාපය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය.
චීනය, විපතට පත් පුද්ගලයින් වෙත තාවකාලික කූඩාරම්, ශීත කබා, ජංගම ඇඳන්, පොරෝන සහ ඇඳ ඇතිරිලි ආදී භාණ්ඩ 22,000කට අධික සංඛ්‍යාවක් ද පිටත් කර හැරීය.
මුහුදු මට්ටමේ සිට මීටර 4000-5000ත් අතර පිහිටි ටින්ග්‍රි ප්‍රදේශයේ වූ ගම්මාන සියල්ල, භූ කම්පනයත් සමග, 'වෙව්ලා' ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව, රිච්ටර් මාපක 4.4ක පසු කම්පන 150කට අධික සංඛ්‍යාවක් සමස්ත කලාපයට බලපෑ බැව් වාර්තා වේ.
තිබ්බතයේ, භූ කම්පන අපි කේන්ද්‍රයේ සිට කි.මී.20 ක දුරින්, 6,900කට අධික ජනගහනයෙන් යුත් නාගරික කලාප තුනක් සහ ග්‍රාමීය ප්‍රදේශ 22ක් පිහිටා තිබේ. විපතින් එහි, 1,000කට අධික නිවෙස් සංඛ්‍යාවක් විනාශව ගොසිනි.
තිබ්බත ලාසා කොටසේ පමණක් 1950ගණන්වල සිට රිච්ටර් මාපක 6ට ඉහළ භූ කම්පන 21ක් වාර්තා වී තිබේ. මීට පෙර, රිච්ටර් මාපක 6.9ක බරපතලම භූ කම්පනය, එහි මේන්ලිඞ් (Mainling) වෙතින් වාර්තා විය.
අද උදෑසන සිදු වූ තිබ්බත භූ කම්පනය, අපි කේන්ද්‍රයට කි.මී.400ක් පමණ එපිටින් පිහිටි නේපාලයටද දැනුනේය. තමා නිදමින් සිටි සයනය සිය දරුවා විසින් සොලවනු ඇතැයි සිතා මුලින් ඒ පිලිබඳ අවධානයක් නොදැක්වූ මුත්, නිවසේ ජනෙල් පියනක් අසාමාන්‍ය ලෙස සෙලවෙනු දැකීමෙන්, එය භූ කම්පනයක් බව දැන තැති ගත්තේ යැයි, කත්මන්ඩු අගනුවර පදිංචිකාරිනියක වන මීරා අධිකාරී පැවසීය.
භූ කම්පනය, භූතානයේ තිම්පු අගනුවර සහ උතුරු ඉන්දීය බිහාර් ප්‍රාන්තය තෙක් බල පා තිබේ.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි ලිපියක් :






