ග්‍රීන්ලන්ත වාසීන් කැමැත්තේ නම්, එරට ස්වාධීන රාජ්‍යයක් සේ පැවතිය හැකි මුත්, එක්සත් ජනපද ප්‍රාන්තයක් වීමේ වැඩි අවශ්‍යතාවක්
නැතැයි, ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා ඊයේ (08) පැවසීය.
ආර්ක්ටික් දිවයිනක් වන ග්‍රීන්ලන්තය සිය ප්‍රාන්තයක් බවට බලෙන් හෝ ඈඳා ගන්නා බව එක්සත් ජනපද ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ග්‍රීන්ලන්තය, එක්සත් ජනපදය සතු වනවාට ඩෙන්මාර්කයේ, වැඩි අකමැත්තක් නොමැති බව වාර්තා වේ.
ඛනිජ මූලද්‍රව්‍යයන්ගෙන් පොහොසත් ග්‍රීන්ලන්ත දිවයින, ඩෙන්මාර්ක රජයේ පාලනය යටතේ පවතී. එරට අග්‍රාමාත්‍යවරයා ඊයේ ඩෙන්මාර්ක රජු හමු විය. දෙදෙනා අතර පැවති සාකච්ඡා මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නැත.
ලබන 20 වන දා ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපද ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. තමා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, හමුදා බලය හෝ ආර්ථික සම්බාධක යොදා ග්‍රීන්ලන්තය එක්සත් ජනපද ප්‍රාන්තයක් බවට පත් කරන බව මීට දෙදිනකට පෙර ඔහු ප්‍රකාශ කළේය. එදිනම, ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත් කණිෂ්ට ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තයේ චාරිකාවක නිරත විය.

ඩෙන්මාර්කයේ නැටෝ (NATO) සාමාජිකත්වය ඔස්සේ, ග්‍රීන්ලන්තය ද එහි පාර්ශ්වකරුවකුව ක්‍රියා කරයි. එය සංග්‍රාමිකව, එක්සත් ජනපද බැලස්ටික් මිසයිල පූර්ව දැනුම් දීමේ පද්ධතිය සම්බන්ධයෙන් ද වැදගත් රාජ්‍යයකි.
ආර්ක්ටික් ග්‍රීන්ලන්ත දිවයින ඔස්සේ, යුරෝපයේ සිට උතුරු ඇමෙරිකාව වෙත කෙටිම මාර්ගය වැටී තිබේ.
ග්‍රීන්ලන්තයේ භෞමික හිමිකාරීත්වය උදෙසා සාම්ප්‍රදායික ක්‍රමවේද අතික්‍රමණය කළ සංග්‍රාමවාදී, උපායමාර්ගික නව රාජ්‍යතාන්ත්‍රික ක්‍රමෝපායන ක්‍රියාවලියක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ග්‍රීන්ලන්තය, 57,000කට ආසන්න ජනගහණයකින් යුත්, ලොව විශාලතම දිවයිනයි. වසර 600කට අධික කාලයක් එය ඩෙන්මාර්කයට අයත් රාජ්‍යයක්ව පවතී. අග්‍රාමාත්‍ය ම්යුට් ඇගේට් එහි වත්මන් නායකයා වේ.
ග්‍රීන්ලන්තය ස්වාධීන අපේක්ෂා පෙරදැරිව ඉදිරියට ගමන් කරන බවත්, එක්සත් ජනපදයේ ෆෙඩරල් ප්‍රාන්තයක් බවට පත්වීමේ අපේක්ෂා අල්ප මාත්‍ර බවත්, ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් රස්මුසෙන් (Lars Rasmussen) පවසයි.
එක්සත් ජනපදය සමග වඩා සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට සූදානම් බව ද ඔහු කියා සිටී. එය එදිරිවාදී පිළිවෙතක් හෝ විදේශ ප්‍රතිපත්ති අර්බුදයක් නොව, එක්සත් ජනපදය සමග ද්වීපාර්ශ්වීය වශයෙන් සමීප වීමැකයි ඔහු කියා සිටී.
යුරෝපය, සිය ස්වෛරී දේශ සීමාවන්ට අත පෙවීමට කිසිදු බාහිර පාර්ශ්වයකට අත නොතබන බවත්, එක්සත් ජනපදය, ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරන බවට සිතිය නොහැකි බවත් ප්‍රංශ විදේශ අමත්‍ය ජනුඑල් බැරෝ (Jean-Noel Barrot ) පවසයි.
ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂොල්ට්ස් (Olaf Scholz) ද ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත ප්‍රකාශය පිලිබඳ විමතිය පල කරයි.
ග්‍රීන්ලන්ත වැසියන් කෙරෙහි නොසැලකිලිමත් වීමේ චෝදනා මත මෑත කාලීනව එරට සහ ඩෙන්මාර්කය අතර ද්වීපාර්ශ්වීය සබඳතා තරමක දුරස්ථ ස්වභාවයක් ඉසිලීය.
"ග්‍රීන්ලන්තය විකිණීම පිණිස නොවේ," යි අග්‍රාමාත්‍ය ඇගේට් පවසයි. ඩෙන්මාර්කයේ අදහස වන්නේ, ග්‍රීන්ලන්තයේ දෛවය රැඳී ඇත්තේ අන් කිසිවකු අත නොව, රට වැසියන් අතම බවයි.
"අප පැතුම දේශයේ නිදහස උගසට තබමින් අතින් අත යාම නොව, ස්වාධීන රාජ්‍යයක් සේ නැගී සිටීමයි," යනුවෙන් ග්‍රීන්ලන්ත මුදල් අමාත්‍ය එරික් ජෙන්සෙන් ද පවසයි.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් එක්සත් ජනපද නව රාජ්‍ය යාන්ත්‍රනය ගන්නා ඕනෑම පියවරක් දෙස උපේක්ෂාවෙන් බලා, දරා සිටීමට ඩෙන්මාර්කයට සිදුවනු ඇත.
එහෙයින්ම, ඔවුහු ට්‍රම්ප් අගතියට පත්වෙතැයි සැකයට තුඩු දෙන කිසිත් නොපවසති.
ඩෙන්මාර්කයේ හමුදා ශක්තිය අති සීමිතය. ඔවුන් සතුව පවත්නේ, මුර සංචාර යාත්‍රා හතරක්, එක් ගුවන් නිරීක්ෂක අහස් යානයක් සහ නිල සුනඛයින් විසින් ඇද යන ජංගම මුර සංචිතයක් පමණි.
යම් හෙයකින්, ඩෙන්මාර්කය වෙත එක්සත් ජනපද ආර්ථික සම්බාධක සහ තීරු බදු වැඩි කිරීමේ නීති පැනවුවහොත්, එය එරට කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම, ග්‍රීන්ලන්ත සුභ සාධනය කෙරෙහිද සෘජුව බලපාන්නේය.
යුරෝපයේ වටිනාම, 'නොවෝ නොර්ඩිස්ක්' (Novo Nordisk) කර්මාන්ත ශාලාව ඩෙන්මාර්කයේ පිහිටියේය. එහි මිනිස් සිරුරේ තරබාරු බව සහ බර අඩු කෙරෙන 'වෙගොවි' (Wegovy) ඖෂධය නිෂ්පාදනය කෙරේ. එය එක්සත් ජනපදයේ ජනප්‍රියම ඖෂධ අතුරින් එකකි. එම නිෂ්පාදනයේ විශාලතම ගැනුම් කරුවා වන්නේද එක්සත් ජනපදයය.
ග්‍රීන්ලන්ත වාසීන් බහුතරය ඩෙන්මාර්කයෙන් නිදහස අපේක්ෂා කරයි. එහෙත්, ඩෙන්මාර්ක රජු තවමත්, ග්‍රීන්ලන්තයේ මහත් සේ ජනප්‍රිය චරිතයකි. ඔහු නිතර, නිතර එහි යාමට ප්‍රිය කරන්නෙකි. එම ජනාදරය නිසාම, ඩෙන්මාර්ක - ග්‍රීන්ලන්ත ද්වීපාර්ශ්වීය සබඳතා වල උන්නතිය පිණිස රජුට විශාල කාර්ය භාරයක් සිදු කළ හැකි යැයි, ග්‍රීන්ලන්ත වාසීහු විශ්වාසය පළ කරති.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






