leader s

ලොස් ඇන්ජලීස් ලැව් ගිනි මෙල්ල කිරීම තව දුරටත් අපහසු ව තිබේ.

ගින්න ඊයේ (11) අසල පැසිෆික් පැලිසේඩ්ස් හි තවත් අක්කර 1,000ක් ගිල ගත්තේය. ඉදිරි පැය 72ක කාලය තව දුරටත් ව්‍යසනකාරී විය හැකියැයි, බලධාරීහු අවට පදිංචිකරුවන්ට ඊයේ අනතුරු ඇඟවූහ. 

මේ වන විටත්, පැලිසේඩ්ස් ලැව් ගිනිවලින් පාලනය කරගත හැකිව ඇත්තේ, 11%ක් පමණි.

 

ලොස් ඇන්ජලීස් අවට අක්කර 22,000කට අධික බිම් ප්‍රමාණයක් ගින්නෙන් සහමුලින්ම වැනසී ගොස්ය. අසල මැන්ඩෙවිල් කැන්යන් (Mandeville Canyon) ප්‍රදේශය තෙක් ගින්න පැතිර ගොස් තිබේ. 

බොහෝ සිනමා තාරකාවන් වෙසෙන සහ ක්‍රීඩා, විනෝදාස්වාද කටයුතු පිණිස එක්වන යාබද බ්‍රෙන්ට්වුඩ් (Brentwood) දක්වා එය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පැවතිණ.

ap25011594281282

 

ඊයේ වන විට ලොස් ඇන්ජලීස් වැසියන් 153,000කට ප්‍රදේශයෙන් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. එහි නිවාස, ගොඩනැගිලි සහ වෙනත් දේපළ 57,000ක් ඉදිරි ගින්නෙන් විනාශ වෙතැයි ද ගණන් බලා තිබේ. 

තවත් පැය කිහිපයක් තුළ  අවට පදිංචි කරුවන් 166,000කට ද ප්‍රදේශයෙන් ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි.  

දැනටමත්, ප්‍රදේශයේ, සෝදිසි සහ මුදාගැනීමේ සහන කණ්ඩායම් 40ක් ක්‍රියාත්මකය. පුද්ගල මළසිරුරු සොයා යන නිල සුනඛ බලකායක් ද ඊට අයත් වේ. ගින්නෙන්  විපතට පත් පවුල් සහ, පලා යාමේදී අතරමං වූ පවුල් සාමාජිකයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

පසුගිය අඟහරුවාදා (07) සිට ලොස් ඇන්ජලීස්, දරුණු ගනයේ ලැව් ගිනි තත්ත්ව හයකට අඛණ්ඩව බිලි විය. අනතුරින් මේ වන විට, පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට පත්ව සිටිති. නිවාස, දේපළ ඇතුළු ගොඩනැගිලි 10,000ක් විනාශයට පත්ව තිබේ. අවම වශයෙන් තවත් පුද්ගලයින් 13 දෙනකුවත් අතුරුදන්ව ඇතැයි, පොලිස් වාර්තා පවසයි.

wildfire6

 

ගිනි භටයින් නිවෙසින් නිවෙස වෙත සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදී තවත් මළසිරුරු හමුවෙතැයි ද අපේක්ෂා කෙරේ. 

ලැව් ගිනි වහ වහා ව්‍යාප්ත වීමට රුකුල් දුන් දරුණු ශාන්ත ආනා සුළං තත්ත්වය සිකුරාදා (10) වන විට හීනව ගියද පැලිසේඩ්ස් බටහිර කෙළවර පැවති ගින්න එතැන් සිට, වෙනත් දිශාවක් තෙක් පැතිරීම ඇරඹිණි. පැසිෆික් සාගරයේ සිට හමා ආ  නව සුළං ප්‍රවාහ ඊට එක් විය. සැන් ෆර්නැන්ඩෝ (San Fernando) නිම්නය පාමුල අධික ජනගහනයෙන් යුත් ජනාවාස දැඩි තර්ජනයට ලක්විය. 

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ දරුණුම ලැව් ගින්න මෙයැයි වාර්තා වේ. ගින්නෙන්, නගරය සහ ඒ අවට ජනාවාස රැසක් අළු ධූලි බවට පත්ව තිබේ. ඊයේ වනවිට යාබද ඊටන් (Eaton) හි, ගින්න 15%කින් පාලනය කිරීමට ගිනි භටයෝ සමත් වූහ. සමස්ත  අක්කර 36,000ක් ගින්නෙන් විනාශව ඇතැයි  වාර්තා වේ. 

ලැව් ගිනි හටගත් සැණින් එක්සත් ජනපද ප්‍රාන්ත හතකින්  සහ කැනඩාවේ ගිනි භටයින් ඇතුළු සහන කණ්ඩායම්  රැසක් වහා කැලිෆෝර්නියාව වෙත පිටත් කර හැරිණි. ගුවන් ගිනි භටයෝ ද ඊට එක් වූහ.

 

මෙම සති අන්තය වන විට, ලොස් ඇන්ජලීස් හි තත්ත්වය වඩාත් යහපත් වනු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති. සුළඟේ වේගය පැයට කි.මී.20 තෙක් අඩු වෙතැයි ද අපේක්ෂා කෙරේ. එහෙත්, අඩු ආර්ද්‍රතාවය සහ ගහ කොළ වියලි ස්වභාවය හේතුවෙන් ලැව් ගිනි අවදානම මුළුමනින්ම පහව ගොස් නැතැයි, ගිනි භටයෝ කියති.

ගින්නෙන්, මෝටර් රථ විශාල සංඛ්‍යාවක්ද දැවී විනාශ වී තිබේ. හාත්පස, විෂ සහිත ඝන දුමාරයක් පැතිර යමින් පවතී. ප්‍රදේශයේ හදිසි සෞඛ්‍ය තර්ජන තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත. පැලිසේඩ්ස් අසල ජනාවාසයක නිවාස 60ක් පමණක් නිරුප්‍රදිතව පවතී යැයි වාර්තා වේ. 

දැනටමත් ව්‍යසනයේ සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 135ත් 150ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. රජයේ සහනාධාර, ඇති හැකි පිරිස් වෙත පමණක් ගලා යනු ඇතැයි, ගින්නෙන් විපතට පත් බොහෝ පිරිස් සැක පළ කරති.

 

imengine.public.prod.pdh.navigacloud

ගිනි රක්ෂණාවරණ කප්පාදුවක් පිළිබඳවද ඔවුහු බියට පත්ව සිටිති. කල් පූර්ණය වූ රක්ෂණාවරණ යාවත් කාලීන කිරීම ප්‍රමාද වීම් පිලිබඳ නිවේදන නිකුත් කිරීම හෝ දැනටමත් නිකුත් කර ඇති අවලංගු කිරීම් වහා අත්හිටුවන ලෙසත්, අදාළ වාරික ගෙවීම් පිණිස සහන කාලයක් ලබා දෙන ලෙසත්, කැලිෆෝර්නියා රක්ෂණ කොමසාරිස් රිකාර්ඩෝ ලාරා (Ricardo Lara) විසින් සියළු රක්‍ෂනායතන වෙත දැනුම් දී තිබේ.

ලැව් ගින්නෙන්, නිවාස සහ දේපළ අහිමි වීමට අමතරව, විපතට පත් සියල්ලෝ බලශක්ති අර්බුදයකට ද මුහුණ දී සිටිති. ප්‍රදේශ වාසීහු මිලියන ගණනක්, විෂ සහිත වායු දූෂණ තත්ත්වයකට ද නිරාවරණය ව සිටිති. 

එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්, දරුණු විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර රාජ්‍ය වියදමින් ඉදිරි සය මස ඇතුළත විපතට පත් සියලු ප්‍රදේශ 100% කින් පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කරන බව ප්‍රකාශ  කළේය. 

මේ වන විට ප්‍රදේශය පුරා ඇඳිරි නීති තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. නිවාස දේපළ කොල්ලකෑම්හි නිරතවන්නන් සහ නීති විරෝධීව ගිනි අවි රැස්කරන සහ ළඟ තබා ගන්නා පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගන්නා බව බව පොලිස් බලධාරීහු පවසති.  

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්