මියෙන්මාර හමුදා රජය මෙම සතිය පුරා රඛීන් (Rakhine) ප්‍රාන්තයේ සිදු කළ ගුවන් ප්‍රහාරවලින්, පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එරට අභ්‍යන්තර ගැටුමට මේ වන විට සිව් වසරක් ගතවී තිබේ. නීති විරෝධී සන්නද්ධ කණ්ඩායමක් වන අරකන් (Arakan) හමුදාව, ප්‍රාන්ත බලය ඉල්ලා සන්නද්ධ කැරැල්ලක් දියත් කර ඇතැයි, රජය කියා සිටී.
එරට යන්බායි (Yanbye) නාගරික කලාපයේ, ක්‍යාවුක් නි මෝ (Kyauk Ni Maw) ගම්මානයට බදාදා (08) රජයේ හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් නිවාස 500ක් විනාශ විය. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 40ක පමණ පිරිසක් මරුමුවට පත් වූහ. ඒ පිලිබඳ රොයිටර්ස් පුවත් සේවය, මියෙන්මාර බලධාරීන්ගෙන් විමසීමට ගත් උත්සාහය නිෂ්ඵල විණැයි වාර්තා වේ.
සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා රජය, ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන බව පවසයි.
ප්‍රහාරයෙන් මියගිය මුස්ලිම් වැසියන් 26 දෙනකුගේ සහ තුවාළ ලැබූවන් 12 දෙනකුගේ නාම ලේඛනයක් අරකන් සන්නද්ධ කණ්ඩායම විසින් නිකුත් කර තිබේ.
මියෙන්මාරයේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ අවුඞ් සාන් සූ කී ගේ රජය 2021 දී හමුදා කැරැල්ලකින් පැහැර ගැනිණි. අනතුරුව, ඊට එරෙහිව පෙරමුණු ගණනාවකින් අභ්‍යන්තර සන්නද්ධ කැරළි හට ගත්තේය.

ජාත්‍යන්තර මානුෂීය නීතීන් උල්ලංඝනය නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැටුම් වල නිරත සියලු පාර්ශ්ව වෙතින් උදක්ම ඉල්ලා සිටී. මියෙන්මාර මිලිටරි රජයේ ආදායම් කපා දැමීමට ක්‍රියාත්මක අරගලකාරී පිරිස්, රාජ්‍ය ගුවන් හමුදාවට ඉන්ධන සපයන රටවල් සහ සමාගම් වෙත සම්බාධක පනවන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිති.
මිලිටරි ජුන්ටාවේ ගුවන් ප්‍රහාර නතර කළ හැක්කේ, ඉන්ධන සම්පාදන නවතා දැමුවහොත් පමණකැයි ඔවුහු කියා සිටිති.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






