leader s

ගාසා තීරයේ සටන් විරාමයක් පිණිස සාකච්ඡා කිරීමට මැදිහත්කරුවෝ ඊයේ කටාර් රාජ්‍යයට රැස් වූහ.


ඉක්මන් සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම පිළිබඳව එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ද සිය විශ්වාසය පළ කරයි.

කටාර් විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක මජෙඩ් අලන්සාරි (Majed Al-Ansari) ද ඒ පිලිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීය.

සටන් විරාමයක් පිලිබඳ අවසන් වටයේ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ඔහු එහිදී දැනුම් දුන්නේය.

පසුගිය මාස කිහිපය පුරාම පැවති සියළු සාකච්ඡා වටයන්හි අවසන් ප්‍රතිඵලය මෙය විය හැකි යැයි, ඔහු අනුමාන කරයි.

එම සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇතැයි, හමාස් සංවිධානය ද ප්‍රකාශ කරයි.  

අවසන් වටයේ සාකච්ඡා කෙළවර, යහපත් එකඟතාවකට එළැඹිය හැකි බවට එම පාර්ශ්වය විසින් ද විශ්වාසය පළ කර තිබේ.  

සාකච්ඡා සාර්ථක වුවහොත් අද දින ඒ පිලිබඳ අවසන් තීන්දුවකට එළැඹීමට නියමිතය.

අවසන් විසඳුමකට ආසන්න මුත්, අවසන් තීරණයකට තවමත් එළැඹ නැතැයි, ඊශ්‍රායල පාර්ශ්වය  කියයි. ගිවිසුමට අදාළ ඇතැම් කොන්දේසි පිලිබඳ විවාදාත්මක තත්ත්වයක් උද්ගතවීම ඊට හේතුවයි.

සටන් විරාම සාකච්ඡාවල මැදිහත් පාර්ශ්වය ලෙස කටයුතු කරන කටාර් නියෝජිතයෝ, අවසන් විසඳුමක් පිලිබඳ කෙටුම්පතක් පෙරේදා (13) ඉදිරිපත්  කළහ.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල් තානි ( Sheikh Mohammed bin Abdulrahman Al Thani) විසින් කැඳවන ලද එම අවසන් වටයේ සාකච්ඡා සඳහා වත්මන් එක්සත් ජනපද ජනපති බයිඩන් ගේ සහ මීළඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ද නියෝජිතයෝ සහභාගී වී සිටිති.

මොසාඩ් ඔත්තු සේවා අධ්‍යක්ෂ ඩේවිඩ් බාර්නියා (David Barnea) ඊශ්‍රායල පාර්ශ්වය නියෝජනය කරමින් ඊට සහභාගී වේ.

ඉදිරි සටන් විරාම ගිවිසුම ප්‍රකාරව, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අනිවාර්ය වේ.

සියළු ගැටුම් නතර කිරීමට නියමිත අතර, ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට සහ හමාස් සංවිධානය විසින් මුල පුරන ලද යුද්ධයට හසු වූ සියලු පලස්තීන ජනතාව වෙත මානුෂීය මෙහෙවර ඉටු කිරීමට එක්සත් ජනපදයට ඉඩ සැලසිය යුතු බව ජනපති ජෝ බයිඩන් පවසයි.

අවසන් වටයේ සටන් විරාම සාකච්ඡා සාර්ථක වුවහොත්, එය සමස්ත මද පෙරදිග කලාපයේම සාමය කෙරෙහි ධානාත්මක බලපෑමක් සිදු කරනු ඇතැයි, ජාත්‍යන්තර විශ්ලේෂකයෝ ද පෙන්වා දෙති.

බටහිර ඉවුර, ලෙබනනය, සිරියාව, යේමනය සහ ඉරාකය මෙන්ම ඉරානය ද ඊශ්‍රායලය සමග දැවැන්ත සටනකට සම්මුඛ ව සිටින මොහොතක මෙම තීරණාත්මක සාකච්ඡාවල සාර්ථකත්වය දෙස ලොවම බලා සිටී.

2023 ඔක්තෝබර් 7 දා හමාස් ත්‍රස්ත ප්‍රහාරයට හසුව ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ සිය දෙනෙක් පමණ තවමත් හමාස් භාරයේ පසුවෙතැයි, ඊශ්‍රායලය පවසයි. දැන්, පන්දුව ඇත්තේ හමාස් පිටියේ යැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.

ඊයේ ඔහු, ගාසා තීරයේ පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබිණ.

ඉදිරි සටන් විරාමයේ පළමු පියවර ලෙස, හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු නිදහස් කිරීමට නියමිතය.

කුඩා ළමුන්, කාන්තාවන්, ඊශ්‍රායල යුද සෙබළියන්, වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමි පුද්ගලයින්, ගැටුම් අතර තුර තුවාළ ලැබූවන් සහ රෝගී පුද්ගලයින් ඊට ඇතුළත්ය.

එම මුල් අදියර තුළ, ඊශ්‍රායලය විසින් ක්‍රමක්‍රමයෙන් සහ කොටස් වශයෙන් සිය හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගැනේ.

සටන් විරාම ප්‍රථම අදියර තුළ ඊශ්‍රායල භාරයේ පසුවන පලස්තීන සිරකරුවන් 1000ක් නිදහස් කිරීමට ද නියමිතය. එය දින 60ක් තුළ සිදු කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

2023  ඔක්තෝබර 7 දා, නිරායුධ ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර එම භූමියේ කිබුට්ස් හි සිදු කළ ම්ලේච්ඡ  හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයේ යුද්ධය ආරම්භ විය. ඔක්තෝබර 7 දා ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 1200ක් ඝාතනය විය.  250  දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත් වූහ. එතැන් සිට හට ගත් ඊශ්‍රායල - හමාස්  යුද ගැටුම් වලින් මේ වන විට පලස්තීනුවෝ 46,000කට අධික  සංඛ්‍යාවක් මරු වැළඳ සිටිති.

දෙපාර්ශ්වය අතර මෙතෙක් ක්‍රියාත්මකව ඇත්තේ එක් කෙටි සටන් විරාමයක් පමණි. එය 2023 නොවැම්බර මස සතියක කාලයකට පමණක් සීමා විය. එම කාලසීමාව තුළ ඊශ්‍රායල භාරයේ පසු වූ පලස්තීන රැඳවියන් සහ හමාස් සංවිධානයේ අත්අඩංගුවේ සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කෙරිණි. කාන්තාවන්, ළමුන් සහ විදෙස්  ශ්‍රමිකයින් පිරිසක් ඊට ඇතුළත් වූහ.

ඉන් අනතුරුව සිදු කළ සටන් විරාම ප්‍රයත්න සියල්ල හමාස් සංවිධානයේ එකඟතාවක් නොවීමෙන් නිෂ්ඵල විය. හමාස් ත්‍රස්ත කල්ලිය මුලිනුපුටා දැමීමෙන් තොර යුද්ධයේ අවසනක් නැතැයි, ඊශ්‍රායලය අවධාරනය කළේය.

මෑත කාලීන ගැටුම් වලදී උතුරු ගාසා තීරය වැඩි අවධානයට ලක් විය. හමාස් සාමාජිකයින් ප්‍රති සන්ධාන ගත වීම වැලැක්වීමට එහි අඛණ්ඩ ප්‍රහාර සිදු කරන බව ඊශ්‍රායලය පැවසීය.

එහෙත්, ඊශ්‍රායල හමුදාවන්ට අවශ්‍ය වන්නේ එහි ආවරණ කලාපයක් ස්ථාපිත කිරීම බවට හමාස් චෝදනා කළේය. ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩ රාත්‍රී ගුවන් ප්‍රහාර දියත්  කෙරිණි.

ඉකුත් පැය 24 තුළ සිදු කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 27 දෙනකු ජීවිතක්ෂයට පත් විය. ගාසා ජනමාධ්‍ය වේදියකුද ඒ අතර වේ.

එක්සත් ජනපද නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වන දා ධුරයේ දිවුරුම් දෙයි. එය, අවසන් ගාසා සටන් විරාමයක් පිලිබඳ තීරණාත්මක සාධකයක් බව ජාත්‍යන්තරයේ ද මතයය.

ඊට පෙර හමාස් සංවිධානය සටන් විරාමයකට අනුගත නොවන්නේ නම්, පලස්තීනය අපායක් කරන බව ට්‍රම්ප් දිවුරා කියා සිටී. එක්සත් ජනපද වත්මන් ජනපති බයිඩන් ද ධුරයෙන් නික්ම යාමට පෙර, ගාසා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පූර්ණ උත්සාහයක නිරත වනු පෙනේ.


(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්