අද, දකුණු කොරියානු බලධාරීහු, දෝෂාභියෝගයකින් ධුරය අත්හිටුවන ලද, එරට හිටපු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගත්හ.
රාජ්‍යයට එරෙහි කැරැල්ලක් සංවිධානය කළේ යැයි චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව, විමර්ශන නිලධාරීහු පවසති.
ලේ වැගිරීමක් වළක්වනුවස්, විමර්ශකයින්ට අවනත වූ බව, යූන් ප්‍රකාශ කළේය.
ධුරයේ සේවය අත්හිටවූ, එහෙත්, එහි රැඳී සිටි දකුණු කොරියානු ජනපතිවරයකු, රාජ්‍ය අත්අඩංගුවට පත් ප්‍රථම අවස්ථාව මෙය වේ. පසුගිය දෙසැම්බර මස 3 දා, ඔහු විසින් දකුණු කොරියාව තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග, ජන කැළඹීමක් හට ගැනිණි. වහා පාර්ලිමේන්තුවට රැස් වූ නීති සම්පාදකයෝ, ඔහුට එරෙහි දෝෂාභියෝගයක් සම්මත කර ගත්හ. යූන් විසින් ම, එම හමුදා නීතිය කෙටි වේලාවක් තුළ ඉවත් කර ගැනිණි. එහෙත්, පාර්ලිමේන්තු දෝෂාභියෝගය සම්මත වීම හමුවේ, ඔහු ධුරයේ කටයුතු කිරීම අත්හිටවිණි.
මීට ප්‍රථම ඔහුව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය විමර්ශන නිලධාරීන් දැරූ තැත, ජනපති ආරක්ෂක භටයින්ගේ, හමුදා සාමාජිකයින්ගේ සහ පාක්ෂික විරෝධතා හමුවේ ව්‍යර්ථ විය.
එහෙත්, අද උදෑසන පොලිස් නිලධාරීන් 3000ක් පමණ යූන් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වෙත ගමන් කිරීමත් සමග, භීෂණකාරී ගැටුමක් වලක්වනුවස්, රාජ්‍ය නිලධාරීන්ට අවනත වීමට තීරණය කළ බව පවසා ඔහු විසින්ම පොලිස් භාරයට පත් විය.
පසුව, ඔහු රැගත් මෝටර් රිය සංචිතය, සියොල් නුවර පිහිටි, 'බෙවර්ලි හිල්ස්' ප්‍රදේශය වෙත ගමන් කළ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි. එය ප්‍රධාන විමර්ශක කාර්යාලයට ළඟාවීමත් සමග, ආරක්ෂකයින්, ඔහු රැගත් මෝටර් රථය වට කර ගත් අතර, එය ගොඩනැගිල්ලේ පිටුපස පෙදෙස වෙත අනු ධාවනය කෙරිණි.
එම ආරක්ෂක පියවර හේතුවෙන්, රැස්ව සිටි විශාල මාධ්‍යවේදීන් පිරිසකට, ඒ මොහොතේ දර්ශන හෝ ප්‍රකාශ සටහන් කරගැනීම සහ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය.
බලධාරීන්ට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැය 48ක කාලයක් ඉතිරිව තිබේ. ඉන් අනතුරුව ඔහුව තවදුරටත් රඳවා තබා ගැනීමට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් තවත් දින 20කට නව අධිකරණ වරෙන්තු ලබා ගතයුතුය. නොඑසේව, ඔහුව නිදහස් කළ යුතුය.
යූන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ඔහුගේ නීතීඥයෝ පවසති. ඊට හේතුව, එම අධිකරණ වරෙන්තුව ලබා ගැනීමට, පවතින නීති පද්ධතියෙන් බැහැර ක්‍රමවේදයක් අනුගමනය කිරීම බව ඔවුහු පවසති.
යූන් සම්බන්ධ පරීක්ෂණ සිදු කරන විමර්ශකයින්ට එවැනි වරෙන්තුවක් ලබා ගැනීමේ බලයක් නැතැයි, ඔහුගේ නීතිවේදීහු පවසති.

අද අළුයමින්ම විශාල පොලිස් බල ඇණියක් රැගත් බස්රථ යූන් රැඳී සිටි නිවෙස වට කරත්ම ඒ පිලිබඳ සජීව වීඩියෝ දර්ශන මාධ්‍යට මුදා හැරීම ඇරඹිණි.
පොලිස් සේනාංක, යූන් ගේ ආධාරකරුවන් පසෙකට තල්ලු කරමින් නිවෙස් පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව වෙත ගමන් කළහ. ඔවුන් අත, ඉනිමං සහ යාන්ත්‍රික කම්බි කැපුම් යන්ත්‍ර ද විය.
දකුණු කොරියාවේ පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය ද නොතකා එම මෙහෙයුම දියත් කෙරිණි.
(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






