ඉන්දුනීසියාවේ පෙරදිග දිවයින වන හල්මහෙරා (Halmahera) හි පිහිටි ඉබු (Ibu) ගිනි කන්ද මෙම සතියේ සක්‍රීය වීමත් සමග මේ වන විට, ඒ අවට ජනාවාස වෙත දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
අසල පදිංචිකරුවන් 3000ක පමණ පිරිසක් වහා ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ආරම්භ කර ඇත.
පසුගිය දා එහි සිදු වූ නවතම පිපිරීමෙන්, කි.මී. 4ක් පමණ ඉහළ අහසට විෂ සහිත දුම් රොටු නිකුත් වෙමින් පවතී. එමගින් අවට වායුව දැඩි ලෙස දූෂණයට ලක්ව තිබේ.
පසුගිය බදාදා (15) ඉබු ගිනි කන්ද මිනිත්තු දෙකක පමණ කාලයක් පුරා විදාරණයට ලක් විය. ඒ සමග අවට ප්‍රදේශ වෙත දැඩි අනතුරුදායක තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
එදිනම, ජනතාව පදිංචි ස්ථාන වෙතින් ඉවත් කිරීම ආරම්භ කෙරිණි. ගිනි කන්ද අසලම පිහිටි ජනාවාස වල පුද්ගලයින්ට සහන සේවා ප්‍රමුඛත්වය හිමි විය. ගිනි කන්ද අසල ජනාවාසවල 13,000කට ආසන පදිංචිකරුවන් පිරිසක් වෙතැයි වාර්තා වේ.
පැසිෆික් ගිනි වළල්ලේ (Ring of Fire) ස්ථාන කිහිපයකම පිහිටි යමහල් විදාරණයට සමගාමීව ඉබු ගිනි කඳු පිපිරීම ද සිදු විය.
එම ගිනි වළල්ල මත සක්‍රීය ගිනි කඳු 127ක් පමණ වෙතැයි, වාර්තා වේ.

එම ගිනිකන්ද මත ඉකුත් වසරේ ද පිපිරීම් මාලාවක් හට ගත්තේය. ඒ සමග, අසල ජනාවාස හතක පදිංචිකරුවන් ඉවත් කිරීමට සිදු විය.
(REUTERS ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






