අද අළුයම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ගිනි තබා විනාශ කර තිබේ.
විනාශ කළ ගොඩනැගිල්ල මත යුදෙව් විරෝධී සටන් පාඨ ලියා ඇතැයි, වාර්තා වේ. එරට සිදු කළ කළ නවතම යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය වේ.
ගිනි තබා විනාශ කළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය, සිඩ්නි නුවර යුදෙව් පාසලට යාබදව පිහිටා තිබේ.
ප්‍රහාරය, එරට වේලාවෙන් අද අළුයම 1.00ට පමණ සිදු කර ඇත. ඉන් කිසිවකුටත් හානි සිදු වී නැතැයි, වාර්තා වේ.
අඛණ්ඩව සිව් දිනක් තුළ සිඩ්නි නගරයෙන් වාර්තාවන දෙවන යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය යි.
සිද්ධියට අදාළ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි. එහෙත්, මීට පෙර සිදු කළ යුදෙව් විරෝධී ප්‍රහාරයන්ට වග කිවයුත්තන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදය මත එවැනි සිදුවීම් හි වර්ධනයක් දක්නට ඇතැයි, නගර වාසීහු චෝදනා කරති.
2023, ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයට, එරට හමුදා ප්‍රති-ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, ඔස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී සිදුවීම් උත්සන්න විය. පසු ගිය දෙමස තුළ, සිඩ්නි හි පමණක් එවැනි සාහසික ක්‍රියා දොළහකට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, අද ත්‍රස්ත ක්‍රියාව හෙළා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.
මෙම වසරේ මැයි මස, ඔහු එරට ජාතික මැතිවරණයකට ද ඉදිරිපත් වීමට නියමිතය. එරට යුදෙව් විරෝධී ක්‍රියාකාරකම් මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. ඔස්ට්‍රේලියාව තුළ යුදෙව් විරෝධී අපරාධ මැඬලීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත්ව ඇතැයි, විපක්ෂය චෝදනා කරයි.
එරට යුදෙව් ප්‍රජාවට එල්ල කෙරෙන සාහසික අපරාධ සහ තර්ජනයන් විමර්ශනයට විශේෂ ෆෙඩරල් පොලිස් කාර්ය බලකයයක් ද පිහිටුවා තිබේ.

එරට යුදෙව් සංවිධානයකට මරණ තර්ජන එල්ල කළ 44 හැවිරිදි පුද්ගලයකු පසුගිය සතියේ, එම බලකායේ අත්අඩංගුවට පත් විය. ෆෙඩරල් පොලිස් කාර්ය බලකය පිහිටුවීමෙන් පසු ඔවුන් විසින් සිදු කළ පළමු අත්අඩංගුවට ගැනීම එය වේ.
(REUTERS ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Childcare centre torched in latest antisemitic attack in Australia






