leader s

ගාසා තීරයට "දැවැන්ත ප්‍රහාරයක්" එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා පවසන අතර, හමාස් යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරන්නේ,

පලස්තීන ජාතිකයන් අවම වශයෙන් 400 දෙනෙකු එම ප්‍රහාරවලින් ඝාතනයට ලක් වී ඇති බව ය.

හමාස් සංවිධානයට අයත් "ත්‍රස්ත ඉලක්ක" ලෙස හඳුන්වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසීය.

ගාසාහි අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම, හමාස් සංවිධානයේ ඉහළ ම ආරක්ෂක නිලධාරියා වූ මහ්මුද් අබු වෆා, මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මෙය පසුගිය ජනවාරි 19 වන දා සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ගාසා වෙත එල්ල වූ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ය. ගාසාහි සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡාවල එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති පසුබිමක මෙම ප්‍රහාර එල්ල විය.


dr6gg
සාක්ෂිකරුවන් පවසන්නේ, ගාසා තීරයේ පිපිරීම් ආරම්භ වන විට, මේ ශුද්ධ වූ රාමසාන් මාසය බැවින් බොහෝ දෙනෙකු අලුයම ආහාර ගනිමින් සිටි බව ය.

ඊශ්‍රායල් යුද ගුවන් යානා 20කට වැඩි සංඛ්‍යාවක් පියාසර කළ බව ඔවුහු පවසති. ඉන්පසුව එම ගුවන් යානාවලින් රෆා සහ ඛාන් යුනිස්හි ඉලක්කවලට පහරදීම ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයට අනුව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල ආරක්ෂක ඇමති කැට්ස් අඟහරුවාදා උදෑසන මෙම ප්‍රහාරය එල්ල කිරීමට නියෝග කර තිබේ.

"හමාස් සංවිධානය අපගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යළි යළිත් ප්‍රතික්ෂේප කිරීම මෙන් ම, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ මැදිහත්කරුවන්ගෙන් ලැබුණු සියලු යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙය සිදු වූ," බව එහි සඳහන් ය.

"ඊශ්‍රායලය මෙතැන් සිට හමාස් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නේ වර්ධනය වන මිලිටරි ශක්තියකින්," බව එහි තවදුරටත් සඳහන් කර තිබේ.

ප්‍රහාර සඳහා සැලැස්ම "සති අන්තයේදී IDF විසින් ඉදිරිපත් කරන ලද අතර දේශපාලන නායකත්වය විසින් අනුමත කරන ලද," බව එහි දැක්වෙයි.

සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස හමාස් සංවිධානයට අනතුරු හඟවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ඊශ්‍රායල් තානාපතිවරයා වන ඩැනී ඩැනන් සඳහන් කළේ, "අපි අපේ සතුරන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වමු," යනුවෙනි.

සටන් විරාම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විශ්වාසය කඩ කර ඇති බවට චෝදනා කරමින් හමාස් සංවිධානය ද කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් දක්වා තිබේ. ගාසා තීරයේ රඳවා සිටින ඉතිරි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් "නොදන්නා ඉරණමකට" නිරාවරණය කරමින් සිටින බව ද එහි සඳහන් වේ.

එහෙත්, හමාස් සංවිධානය තවමත් යුද්ධය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර නැති අතර, ඒ වෙනුවට මැදිහත්කරුවන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙයට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිටියි. ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් උපදෙස් ලබා ගත් බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් ෆොක්ස් නිව්ස් වෙත පවසා තිබේ.

| හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදා ආරම්භ කළ නව ප්‍රහාර හේතුවෙන් ගාසා පුරා පිපිරීම් දක්නට ලැබිණි.

 

ty47g| හමාස් සංවිධානයේ ඉහළ ම ආරක්ෂක නිලධාරියා වූ මහ්මුද් අබු වෆා, මෙම ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ (ඡායාරූපය 2020 වසරේ ලබා ගත් එකකි)
මාර්තු 1 වන දා තාවකාලික සටන් විරාමයේ පළමු අදියර අවසන් වීමෙන් පසුව, සාකච්ඡාකරුවෝ ඉදිරියට යාමට මාවතක් සෙවීමට උත්සහ කරමින් සිටියහ.

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායලය රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් තවදුරටත් හුවමාරු කර ගැනීම ද ඇතුළත් ව මෙම පළමු අදියර අප්‍රේල් මැද දක්වා දීර්ඝ කිරීමට එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලදී.

නමුත්, මෙවැනි සාකච්ඡා හුරුපුරුදු පලස්තීන නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, වක්‍ර සාකච්ඡාවලදී විට්කොෆ් විසින් සකස් කරන ලද ගිවිසුමේ ප්‍රධාන අංශ සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ නොවූ බව ය.

හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයේ 1,200කට වැඩි පිරිසක් ඝාතනය කළ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වූහ. පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමෙන් ඊශ්‍රායලය සහ හමාස් අතර දැන් පවතින යුද්ධය ආරම්භ වූයේ, 2023 ඔක්තෝබර් 7 වන දින ය.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් ආරම්භ කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් භාවිතා කරනු ලබන හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන් පසුව පුද්ගලයින් 48,520කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වූහ.

ගාසාහි මිලියන 2.1ක ජනගහනයෙන් වැඩි පිරිසක් අවස්ථා කිහිපයකදී ම අවතැන් වී ඇත.

ගොඩනැගිලිවලින් 70%ක් හානි වී හෝ විනාශ වී ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති අතර, සෞඛ්‍ය සේවා, ජලය සහ සනීපාරක්ෂක පද්ධති බිඳ වැටී ආහාර, ඉන්ධන, ඖෂධ සහ නවාතැන් හිඟයක් පවතියි.

(සටහන | රුෂ්ඩි අබුඅලෝෆ් සහ ජෝර්ජ් රයිට්)
කයිරෝ සහ ලන්ඩන් සිට

උපුටා ගැනීම - BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්