ගාසා හී දකුණු දිග ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායක සලාහ් අල්-බර්දාවීල් මිය ගිය බව හමාස් නිලධාරියෙක් ඉරිදා අලුයම බීබීසීය වෙත පැවසීය.
හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ සාමාජිකයෙකු වූ බර්දාවීල් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම එම ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය බව ප්‍රදේශවාසී හු පවසති.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් ප්‍රතිචාර දක්වා නැත.
මෙම සතිය මුලදී ඊශ්‍රායලය ගාසා වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කළේය. ඒ මාස දෙකකට ආසන්න කාලයක් පැවති සටන් විරාමයේ පළමු අදියර අවසන් කරමිනි. සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නව යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයට දොස් පවරමිනි.
ඊශ්‍රායල හමුදාව ඉකුත් අඟහරුවාදා සිට ගාසා වෙත නැවත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලය එල්ල කළ චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කළ අතර, කටාර්, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී ක්‍රියාවට නැංවූ ගිවිසුම ඊශ්‍රායලය විසින් උල්ලංඝණය කළ බවට ඔවුන් විසින් චෝදනා කර ඇත.
හමාස් පාලනය කරන පලස්තීන බල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඉරිදා මේ දක්වා ඛාන් යුනිස් සහ දකුණු දිග රෆා හී අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පැවසුවේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිලයක් ඔවුන්ගේ කූඩාරමකට පහර දෙන විට බර්දාවීල් තම බිරිඳ සමඟ යාඥා කරමින් සිටි බවයි.
මීට පෙර හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කළ බර්දාවීල් බොහෝ අවස්ථා වල දී දේශීය මාධ්‍ය හමුවේ පෙනී සිට තිබු අයෙකි.
පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය ගාසා හී සිය හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු මිය ගිය බවට වාර්තා වන හමාස් නිලධාරීන් 10 දෙනා අතරට ඔහු ද එක් වේ.
පුද්ගලයින් 1,200 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් පුද්ගලයින් 251දෙනෙකු ප්‍රාණ ඇපයට ගනිමින් ඊශ්‍රායල් දේශසීමාවට එල්ල කෙරුණු හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව විසින් එම සංවිධානය විනාශ කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන ලදී.
හමාස් සංවිධානය මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි, එතැන් සිට පලස්තීනුවන් 49,500 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති අතර ගාසා හී නිවාස සහ යටිතල පහසුකම් මහා පරිමාණයෙන් විනාශ වී තිබේ.
| BBC සිංහල සේවය






