මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.
චීනයට සහ තායිලන්තයට ද භූකම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.
මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය නිසා දිය ඇල්ලක් බවට පත් වූ බැංකොක්හි පිහිනුම් තටාකය
මරණ සහ තුවාල ලැබූ ගණන ඉහළට
මේ වන විට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 30 ඉරිදා උදෑසන 9.00 පමණ වන විට තත්ත්වය) මියන්මාරයේ පුද්ගලයින් 1600 දෙනෙකු මියගොස් 3,400කට අධික පිරිසක් තුවාල ලබා ඇත. අතුරුදන්ව ඇති සංඛ්‍යාව 139කි. ලැබෙමින් පවතින තොරතුරු මත මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ඉඟි පළවෙමින් ඇත.
භූ චලනයෙන් තායිලන්තයේ පුද්ගල මරණ 17ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 83 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.
මෙය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය ගණනය කරනු ලබන්නේ කම්පනයේ තීව්‍රතාවය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනගහනය ඇතුළු අනෙකුත් සාධක මත ය.
භූ කම්පනය තායිලන්තය ඇතුළු අසල පිහිටි රටවල්වලට ද දැනුණු අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මියන්මාරයේ සහ තායිලන්තයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයේ මැන්ඩලේහි සිටින මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, සිදුව ඇති "හානිය අතිමහත්" බව ය.
"මරණ සංඛ්‍යාව ත් තරමක් වැඩියි. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන නිසා අපට දැනට කියන්න පුළුවන් එච්චරයි," ඔවුහු පවසති.
"තුවාල ලැබූ සංඛ්‍යාව තවම නිශ්චිතව ම කියන්න බැහැ, නමුත් එය අවම වශයෙන් සිය ගණනක් කියලා කියන්න පුළුවන්."
"සැලකිය යුතු හානියක්" සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය ද පවසයි.
"අපි අත් දෙකෙන් හාරලා මිනිස්සු හොයන්නේ," මැන්ඩලේහි සිටින තවත් කණ්ඩායමක් බීබීසී වෙත පැවසීය.
මරණ සංඛ්‍යාව හෝ හානියේ සම්පූර්ණ ප්‍රමාණය අපි තවමත් නොදනිමු.
මියන්මාරයේ කලාප හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගොඩනැගිලි සහ මාර්ග දැඩි ලෙස හානි වී ඇති ආකාරය ඡායාරූපවල දැක්වේ.
හානිය කොතරම් දුරට පැතිරී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් භූමිකම්පාව කොතරම් දුරට දැනී ඇති ද යන්න අපි සිතියම්ගත කර ඇත්තෙමු.
අපි තවමත් නොදන්නා බොහෝ දේ ඇති නමුත් නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිති.
| BBC සිංහල සේවය
සබැඳි පුවත් :
පොළොවට සමතලා වූ බැංකොක් හී මහල් 30කින් යුත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සොයා යෑමේ දුෂ්කර මෙහෙයුම
මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,000 ඉක්මවයි






