leader s

ඉන්දු-පාකිස්ථාන ගැටළුව සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම කෙබඳු ද යන්න බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.

ඒ සමගයි ඊට අදාළව චීන විදේශ අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙන්නේ.

වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරට මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට සහාය වන බවයි චීනය පවසන්නේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පවසා තිබෙනවා.


ඉන්දියාවේ සහ පාකිස්ථාන‍යේ අසල්වැසි රටක් ලෙස, චීනය අපේක්ෂා කරනුයේ දෙපාර්ශ්වය සංයමයෙන් කටයුතු කරමින් එකම දිශාවක ගමන් කරනු ඇති බවයි. කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අදාළ ගැටළු, සංවාද හා සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Guo Jiakun සඳහන් කළා.
මේ අතර චීන විදේශ අමාත්‍ය වන්ග් යී, පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සමග දුරකථන සංවාදයක නිරත ව තිබෙනවා.

කාෂ්මීර කලාප‍යේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය හා ඉන්දියාව අතර මතුව ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එහිදී පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා විසින් චීන විදේශ අමාත්‍යවරයා  දැනුවත් කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය අඛණ්ඩව හා දැඩිව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර ඇති බවයි. පවතින තත්ත්වය උත්සන්න කරන ඕනෑම ක්‍රියාවකට තම රට විරුද්ධ බවද ඔහු පවසා ඇතැයි වාර්තා වනවා. තත්ත්වය සමනය සඳහා පාකිස්ථානය කැපවන අතරම චීනය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග මනා සන්නිවේදනයන් පවත්වා ගෙන යන බවද ඉෂාක් ඩාර් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යවරයා චීනය අදාළ තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කළා. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සමස්ත ලෝකයේම වගකීමක් බව පැවසූ හෙතෙම ප්‍රති-ත්‍රස්ත උත්සාහයන් වෙනුවෙන් චීනය පාකිස්ථානයට අඛණ්ඩව සහාය වන බවද කියා සිටියා.

සෑම කල්හිම සිටින ප්‍රබලතම උපායමාර්ගික සහයෝගීතා හවුල්කරුවෙකු වශයෙන් චීනයට පාකිස්ථානයේ නීත්‍යනුකූල ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ඇති අතර පාකිස්ථාන‍යේ ස්වෛරීත්වය හා ආරක්ෂක අභි‍ලාෂයන් සුරැකීමට සහයෝගය දක්වන බවද වන්ග් යී සඳහන් කළා. පාකිස්ථානය හා ඉන්දියාව වඩාත් ඉවසීමෙන් කටයුතු කරමින් තත්ත්වය සමනය කිරීමට එක්ව කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.
 
සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්