පසුගිය දා චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡා ජිනීවාහිදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම පොදු එකඟතාවන්ට එළඹෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. ඊට අනුව ඊයේ(14) දිනට පෙර දෙපාර්ශ්වයම තීරුබදු තීරණ වෙනස් කළ යුතු බව සඳහන් වුණා.
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා වන නව තීරුබදු වෙනස් කරමින් චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම ඊයේ(14) නිවේදනයක් නිකුත් කළේ මේ සඳහා ප්‍රතිචාර දක්වමින්. එහිදී දින 90 ක මූලික කාලය සඳහා සියයට 24 ක ප්‍රතිශතය අත්හිටුවමින්, ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉතිරිව ඇති අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු අනුපාතය සියයට 10 ක් ලෙස රඳවා ගැනෙන බව සඳහන් කෙරුණා.
ද්විපාර්ශ්වික තීරුබදු පහත දැමීම චීනයත් ඇමරිකාවත් අතර නිෂ්පාදන සහ පාරිභෝගික අපේක්ෂාවන්ට අනුකූල වනවා සේම දෙරට අතර ආර්ථික හා වෙළඳ හුවමාරුවට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද හිතකර බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීම අත්හිටුවමින් චීන වාණිජ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කළා.
චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල මන්දිරය පසුගිය 12 වනදා නිකුත් කළා. ඊට අනුව ඇමරිකාව ඊයේ(14), පසුගිය අප්‍රේල් 8වැනි දා පළ කළ අංක 14259 සහ 9 වැනිදා පළ කළ අංක 14266 විධායක නියෝගවල චීන භාණ්ඩ සඳහා පැනවූ 91% ක තීරුබදු ඉවත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවා ඇති අතර ඉතිරි 10% ක තීරුබදු එලෙසම පවත්වාගෙන යනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම චීනයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් 800කට අඩු වටිනාකමකින් යුත් පාර්සල් වෙත පනවන තීරුබදු පහත දැමීම හෝ ඉවත් කිරීමට ද ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
ලොව ප්‍රධානම ආර්ථිකයන් අර්බුදයටකට නොගොස් කඩිනමින් තීරණයකට එළඹීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද සිය සතුට පළ කර සිටිනවා. එය සමස්ත ලෝක ආර්ථිකයට ඉතා වැදගත් ධනාත්මක සංඥාවක් ලබා දෙන බවත්, වෙළඳ යුද්ධය උත්සන්න කිරීම යෝග්‍ය නොවන බවත්, සියලු පාර්ශ්වයන් සංවාද සඳහා එක් වීම අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
වත්මන් ගෝලීය ආතතීන් මධ්‍යයේ, මෙම ප්‍රගතිය දෙරටට පමණක් නොව, වඩාත්ම අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් ඇතුළුව ලෝකයේ සෙසු රටවලට ද ඉතා වැදගත් වන බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය නිවේදනයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.
නව තීරුබදු පියවර සමග ගෝලීය වෙළඳාමේ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වීමට තිබුන ද එය වළක්වා ගැනීමට හැකි වූ බවයි බොහෝ රටවල් පවසන්නේ. මෙවැනි තත්ත්වයක් යළි මතුවීම වළක්වා ගැනීමට චීන-ඇමරිකා දෙපාර්ශ්වය විධිමත් ආර්ථික සහ වෙළඳ යාන්ත්‍රණයක් ආරම්භ කිරීමට ද පියවර ගත් බවයි වාර්තා වන්නේ. එය ඉදිරි ලෝක ආර්ථිකයේ හෙට දවස වෙනුවෙන් වඩාත් වැදගත් තීරණයක් වනු ඇත.
සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය






