සාගරය හෝ ග්‍රීන්ලන්තය හෝ ආක්ටික් කළාපය වෙළෙඳ භාණ්ඩ නොවන බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව
ප්‍රංශයේ නීස් නගරයේදී උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
“The deep sea is not for sale; Greenland is not for sale; the Arctic is not for sale," ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්‍රෝන් අවධාරණය කළා. ඔහු එම විශේෂ ප්‍රකාශය කළේ සමුළුවේ සම-සභාපතිධුරයට පත්කර ගනු ලැබීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්.
අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතෙරෙස් ඇතුළු ලෝක නායකයින් පෙන්වා දුන්න.
ජුනි 09 වෙනි සඳුදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිල වශයෙන් සමුළුව විවෘත කරනු ලැබීමෙන් අනතුරුව, සම-සත්කාරක ප්‍රංශයේ සහ කොස්ටා රිකාවේ ජනාධිපතිවරුන් දෙදෙනා (Emmanuel Macron & Rodrigo Chaves Robles) සමුළුවේ සම සභාපති ධුරයට පත්කරගනු ලැබුවා. සත්කාරක උප ජනාධිපතිවරුන් උප සභාපති පදවියටත් පත්කෙරුණා.
එහිදී මහ ලේකම්වරයා වගේම සම සභාපතිවරුනුත් අවධාරණය කළේ සාගරය රැකගැනීම සඳහා දැනටමත් සිදුවන ක්‍රියාදාමයන් වහාම තවදුරටත් වේගවත් කිරීමේ වැදගත්කම.
"මිහිතලය රත්වෙද්දී, සාගරය රත් වෙලා නටන මට්ටමට ඇවිත්," සමුළුව අමතමින් ජනාධිපති මක්රෝන් කිවුව.
"අපේ රටවල් යටවෙන දවසත් වැඩි ඈතක නෙවෙයි."
විශේෂයෙන්ම ග්‍රීන්ලන්තය ගැන ඔහු කළ සඳහන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල කළ ඇනුම් පදයක්. ග්‍රීන්ලන්තය මිලදී ගන්නා බවට ට්‍ර්ම්ප් දිගින් දිගටම වහසි බස් දොඩමින් ඉන්නවා.
සාගර සමුළුව පැවැත්වෙන්නේ නීස් නගරය තුළ Blue Zone සහ Green Zone විදියට නම් කරලා තියන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලා දෙකක. රාජ්‍ය නායකයින්, රජ කුමාරවරුන්, ඇමතිවරුන් සහ දූත මණ්ඩල සහභාගි වෙන ප්‍රධාන සමුළුව පැවැත්වෙන්නේ Blue Zone ශාලාවේ. මේ ප්‍රධාන සමුළුවට සහභාගි වෙන්න අති විශාල පිරිසක් ඉල්ලීම් කරලා තිබුණ නිසා සංවිධායකයින් විසින් Blue Zone ශාලාවට ඇතුළු වෙන්න විශේෂ අවසර පත්‍ර දෙකක් නිකුත්කරලා තිබුණ. ඒ අවසර පත්‍ර දෙකම තිබුණත් පාස්පෝට් එක අතේ නැත්නම් ශාලාවට ඇතුළුවෙන්න බැහැ.
ඒ වගේම නගරය පුරාම දැවැන්ත පොලිස් ආරක්ෂාවක් යොදවල තියෙනව. හැම මොහොතකම සයිරන් නලා හඬ නගමින් පොලිස් රථ කිහිපයක ආරක්ෂාව මැද්දේ විශේෂ අමුත්තෙක් අප පසුකර යනවා. රාජ්‍ය නොවන සංවිධාන, පරිසර ක්‍රියාධරයින්, විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා සහ දේශන පවත්වන්නේ Blue Zone එකේ ඉඳල කිලෝමීටර් තුනක් පමණ ඈතින් තියන Green Zone ශාලාවේ. රාජ්‍ය නායකයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් හැරුණු කොට මාධ්‍යවේදීන්, පරිසර ක්‍රියාධරයින්, විද්‍යාඥයින් වගේම පරිසරය ගැන උනන්දුවක් දක්වන අති විශාල පිරිසක් නගරයට රැස් වෙලා ඉන්නවා.
සමුළුව වෙනුවෙන් නගරයේ සූදානම කොයිතරම් ද කියනවා නම් පසුගිය සිකුරාදා ඉඳල ඉරිදා දක්වා ඕනෑම කෙනෙකුට නගරය තුළ සියලුම පොදු ප්‍රවාහන සේවා - බස්, ට්‍රෑම් සහ උමං දුම්රිය - නොමිලේ විවෘත කරලා තිබුණ. Blue, Green zone දෙක හැරුණු කොට නගරයේ බොහෝ හෝටල්වල සම්මන්ත්‍රණ ශාලාවලත් සාගර සමුළුවට අනුබද්ධ රැස්වීම් (side events) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ මම නැවතිලා ඉන්න හෝටලයේ තිබුණ සාකච්ඡාවකට Cape Verde රාජ්‍යයේ ජනාධිපතිතුමාත් සහභාගී වෙලා හිටිය.
ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව පැරිස් අගනුවර දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙද්දීත් ජනාධිපති මක්රෝන් දිගටම නීස් නගරයේ රැඳී සිටීමත් විශේෂත්වයක්. ආරම්භක දේශනයෙන් පසුව ඔහු සාගර සමුළුව පැවැත්වෙන භූමියේ ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවකටත් සහභාගි වුනා.
“Ocean Wonders” තේමාව යටතේ පැවැත්වුන ලෝක සාගර දින සැමරුම වෙනුවෙන් සාගර පර්යේෂණවල යෙදිල ඉන්න නෞකා සමූහයක් වරායබද නීස් නගරය අසලින් යාත්‍රා කළා.
(Pulitzer Cenre හි Ocean Reporting Network අනුග්‍රහයෙනි)

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
ප්‍රංශයේ නීස් නගරයේ සිට
2025 ජුනි 10
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි පුවත් :






