ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ අසල්වැසි ඉරානය සමඟ තිබෙන දේශසීමාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාකිස්තානය තීරණය කර ඇත.
ඉකුත් ඉරිදා සිට මෙම සීමා ක්‍රියාත්මක වන අතර පාකිස්තානය බලධාරීන් මේ බව නිල වශයෙන් නිවේදනය කළේ සඳුදා ය.
ඊට අමතරව පාකිස්තානයේ සිට ඉරානයේ සහ ඉරාකයේ ඇතැම් නගරවලට ගමන් ගන්නා ගුවන් ගමන් කිහිපයක්ම අත්හිටුවීමට ද පාකිස්තානය පියවර ගෙන තිබිණි.
ඉරානය සමඟ දේශසීමාවේ මායිම් වන්නේ පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ දිස්ත්‍රික්කය. දෙරට අතර හුවමාරු සිදුවන සියලු ගොඩබිම් ස්ථාන ඒ අනුව වසා දැමීමට පියවර ගෙන තිබේ.

“දිස්ත්‍රික්ක පහේ සියලුම දේශසීමා වසා දමනවා” යැයි බලෝචිස්තාන් පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
මේ අනුව චාගි, වෂූක්, පන්ජ්ගූර්, කෙක් සහ ග්වදාර් යන දිස්ත්‍රික්කවල දේශසීමා පහසුකම් වසා දමා තිබේ.
කෙසේ නමුත් දේශසීමා ඔස්සේ කෙරෙන වෙළෙඳ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවත්, ඉරානයේ සිට පාකිස්තානයට පැමිණෙන, පාකිස්තාන ජාතිකයන්ට ද ඒ සඳහා අවසර ලබා දී ඇති බව පාකිස්තානයෙන් වාර්තා විය.
එසේ වුවත් ගුවන් ගමන් සහ ගොඩබිම් මාර්ග වසා දැමීමට පාකිස්තානය ගත් තීරණයත් සමඟ සැලකිය යුතු පිරිසක් දැඩි අපහසුතාවලට පත්ව ඇතැයි වාර්තා වේ.
දේශසීමා ආසන්නයේ ඇති පාකිස්තානයට අයත් ඇතැම් පළාත් දේශසීමා ඔස්සේ ඉරානයෙන් පැමිණෙන ආහාර මත යැපෙයි. ඇතැම් පිරිස් ඉරානයෙන් හොර රහසේ තෙල් රැගෙන එති.
මෙලෙස දේශසීමා වසා දැමීමත් සමඟ එවැනි පළාත්වලට ආහාර ලැබීම නැවතෙනු ඇතැයි ඒවායේ ජීවත්වන ජනතාව බිය පළ කරති.






