ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඊයේ (22) ඉල්ලීමක්ද කර ඇත.
චීනයද යැපෙන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බොරතෙල් මත බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට චීනය ඉරානය දිරිමත් කළ යුතු යැයි රූබියෝ එහිදී ප්‍රකාශ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් රටවල් රැසකට හානි වනු ඇති බවත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් වනු ඇති බවත් රූබියෝ පවසයි.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා (21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි.
එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් ඇතුළු ප්‍රධාන ගල්ෆ් නිෂ්පාදකයින්ගෙන් තෙල් අපනයනය අඩාල වනු ඇත.
තෙල් අපනයනය කිරීම සඳහා විකල්ප නළ මාර්ග තිබුණත් එම මාර්ගවලට හැසිරවිය හැක්කේ දිනකට බොරතෙල් බැරල් මිලියන 2.6 ක් පමණක් බවද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාව න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊයේ (22) උදෑසන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාපති බ්‍රිගේඩියර් ජෙනරාල් අලිරේසා ටැංසිරි, පැය කීපයක් තුළ හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒ සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව දක්වා ඉහළ ගියේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 ත් 150 ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අවසරය ලබා දුන්නත් අවසන් තීරණය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය මත වන අතර එම කවුන්සිලයද පාර්ලිමේන්තුවේ තීරණය අනුමත කළ හොත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිලට එය බලපෑමක් එල්ල කරනු ඇත.
( මුලාශ්‍රය : lankadeepa)
ඉරාන - ඊශ්‍රායල් යුධ ගැටුමට අදාල සජීවී වාර්තාකරණය






