ඊශ්‍රායලයේ ජෙරුසෙලම් අගනුවර ආසන්න බස් නැවතුමකට අද (08) දිනයේ එල්ල වූ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පෙරලා එල්ල කළ වෙඩි පහරින් ත්‍රස්තවාදීන් ඝාතනය වූ බව එරට පොලිසිය කියා සිටී.
ප්‍රහාරකයින් සහ ඔවුන්ගේ අරමුණ පිලිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නැත.
හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධාන විසින්, වෙඩි තැබීම පිලිබඳ සිය ප්‍රශංසාව පල කර තිබේ.
පලස්තීන සන්නද්ධ සටන්කාමී සංවිධාන සාමාජිකයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි, හමාස් සංවිධානය කියා සිටියද, වෙඩි තැබීමේ වගකීම මෙතෙක් කිසිවකු විසින් පිළිගෙන නැතැයි, එරට පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් ඝාතනය වී ඇත්තේ, වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයකු, කාන්තාවක සහ තිස් හැවිරිදි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙක් ද තුවාල ලැබූහ. ඒ අතුරින් 06 දෙනකුගේ තත්වය බරපතල බව ඊශ්‍රායල ගිලන්රථ සේවය ප්‍රකාශ කරයි.
මෝටර් රථයකින් පැමිණි අවිගත් ත්‍රස්තයින් දෙදෙනා ඉන් බැස, රමොත් (Ramot) බස් නැවතුම දෙසට නොකඩවා වෙඩි ප්‍රහාර එල්ල කළ බව පොලිසිය සඳහන් කරයි.
එහි සිටි ආරක්ෂක නිලධාරියකු සහ සිවිල් වැසියකු එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් දෙදෙනා මියගොස් ඇත.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ත්‍රස්තයින් සතු ගිනි අවි කිහිපයක්, පතුරොම් සහ පිහියක් ද හමු වූ බව පොලිසිය කියයි.
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ ජෙරුසෙලමට අයත් එම ප්‍රදේශය 1967 පැවති යුද ගැටුමින් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බිම් කඩෙකි. පසුව, එය සිය දේශ සීමාවට නිල වශයෙන් ඈඳා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් රටවල් රැසක් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක නිලධාරීන් හා එක්ව, සිද්ධිය වූ ස්ථානයේ තත්ත්ව පරීක්ෂාවක් සිදු කරමින් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
(Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය
Palestinian gunmen kill six at Jerusalem bus stop







