වෙඩි පිට වෙඩි පුපුරන, ගුවන් මිසයිල සහ බෝම්බ ප්‍රහාර පතිතව මහපොළොව ගිගුම්දෙන, මරණයේ භයංකර, ඝෝෂාකාරී හඬ මඳකට නතරව තිබිණි. ඒ ඉසිඹුවේ, අවතැන් කඳවුරෙක කූඩාරමක් සංගීතයෙන් පිරී ගියේය.
බිහිසුණු යුද්ධයේ රුදු හඬ පරයා ගුවනේ පාව ආ නිහඬ ස්වරයක මුදු සංගීත රාවයක් නගරය සිසාරා ඇදී ගියෙන්, කඳවුරු බිම ලැගුම් ගත් අවතැන් වූවෝ, සවන් පත් අයා ඒ මිහිරි නාදයට සවන් පා සිටියහ. යුද ගැටුමින් වැනසී හෙම්බත්ව, වියලී ගිය ගාසා නගරයේ ජීවය සංගීතයෙන් පණ නල ලබා යලි අවදිවන සෙයකි.
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන් විනාශ වූ ගාසා නගරයේ පිහිටි එඩ්වඩ් සයිඩ් ජාතික සංගීත සංරක්ෂණාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල අතහැර දැමීමට සිදු වුවද, අවතැන් කඳවුරු සහ යුද්ධයෙන් මුලුමනිම විනාශ නොවී, මෙතෙක් ශේෂව පැවති ගොඩනැගිලි කිහිපයක් තුළ, සංගීත පාඨමාලා තව දුරටත් අඛණ්ඩව පැවැත්වීමට එහි පාලනාධිකාරිය පසුගියදා තීරණය කළේය.
ඒ අනුව, ඉකුත් මස 4 වන දින, එහි සංගීතාචාර්යවරු පිරිසක්, අවතැන් කඳවුරෙක එම පාඨමාලා යළි ඇරඹීමට පියවර ගත්හ. එය, යුද්ධයෙන් පීඩිතව අවතැන්ව සිටින, තරුණ පලස්තීනුවන් මානසික ආතතියෙන් මුදා, නව සමාජ සංවර්ධන ගමන් මගක් වෙත යොමු කිරීමේ අධ්‍යාපන ව්‍යාපෘතියකි. එදින, එහි ප්‍රායෝගික වැඩමුළුවකට සංගීතය හදාරන තරුණ සිසු සිසුවියෝ රැසක් සහභාගී ව සිටියහ.
දැඩි ඊශ්‍රායල ෂෙල් වෙඩි ප්‍රහාරයට ලක් වූ ගාසා නගරයේ ප්‍රධාන විද්‍යාලයේ ද, සති අග සංගීත පන්ති ආරම්භ විය.

අරාබි වීනාව සිය වාද්‍ය භාණ්ඩය කොට, එහි සංගීත විෂය හැදෑරීමට පැමිණි නව හැවිරිදි රිෆාන් අල්-කසාස්, කියා සිටියේ, ඇය වාදනය කරන විට හිස් අහසේ පියඹා යන්නා සේ හැඟෙන බවකි. "මට මේ මොහොතේ, ජීවිතය පිලිබඳ බලාපොරොත්තුව සංගීතයයි. මරණ බිය තුරන් කරන්නේද, එයමයි," ඇගේ වදන් නිසඳැසක් මෙනි. අනාගත දිනෙක, විදෙස් රටෙක දී, වීණාවේ තත් අතර සිය ආත්ම ප්‍රකාශනය, සවන් සනසන ශාස්ත්‍රීය සංධ්වනියක් සේ, ලතෙත් හදවත් වෙත රැගෙන යාම ඇගේ ඒකායන අපේක්ෂාව බව ඇය කියා සිටියේ ඉමහත් බලාපොරොත්තු සහිතවය.
එඩ්වඩ් සයිඩ් ජාතික සංගීත සංරක්ෂණාගාරය බොහෝ කලකට පෙර ගාසා හි බටහිර ඉවුරේ ආරම්භ විය. මීට වසර 13 කට ඉහත, ගාසා තීරයේ එහි ශාඛාවක් විවෘත කෙරිණි. එතැන් සිට, එය ගාසා හි පලස්තීන අශ්පෘශ්‍ය සංස්කෘතික ජීවනාලියේ මුඛ්‍ය අංගයක් විය.
2023 ඔක්තෝබර් 7 දා, ඊශ්‍රායල භූමියේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායල හමුදා පලස්තීනුවන්ට එරෙහි ගාසා යුද්ධය දියත් කරන තෙක්, එය කලාපීය ශාස්ත්‍රීය සංගීතය ඉගැන්වීමේ අතිශය ජනප්‍රිය ශාස්ත්‍රාලයක්ව පැවතිණි.
ගැටුම් ආරම්භ වීමට පෙර, එහි සංගීතය හදාරමින් සිටි දක්ෂතම සිසුන්ට පලස්තීන තරුණ වාද්‍ය වෘන්දයට එක්ව, ගාසා තීරයෙන් පිටත සංගීත ප්‍රසංග පැවැත්වීමට ඊශ්‍රායල අවසරය හිමි විය. ශාස්ත්‍රාලයේ ඇතැම් සිසු සිසුවියෝ, ගාසා තීරයෙහිම සිට අරාබි සහ බටහිර සම්ප්‍රදායයන් දෙකෙන්ම ප්‍රසංග පැවැත්වූහ.
2023 ඔක්තෝබර 7 හමාස් ප්‍රහාරයෙන් පසු, ගැටුම් ඇරඹීමත් සමග, ඒ සියල්ල නතර විය. ඊශ්‍රායල ප්‍රහාරයන්ට මැදිව, එහි ඇතැම් සිසුන් මේ වනවිට මිය ගොස් ඇතැයි, සංරක්ෂණාගාරයේ සභාපති සුහයිල් කෞරි පැවසීය. ගැටුම් ඇරඹි මුල් වකවානුවේදීම, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඇගේ පවුලේ අය හා මියගිය 14 හැවිරිදි වයලීන ශිල්පිනී ලුබ්නා ආලියාන් ද එහි සිසුවියකි.
ගාසාහි ජාතික සංගීත සංරක්ෂණාගාරය පැවති පැරණි නිවස යුද්ධයෙන් මුළුමනින්ම විනාශව ගොසිණි. එහි බිත්ති කඩා වැටී, කාමර සුන්බුන් වලින් පිරී පවතී. ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් පියානෝවක් ද ඒ අතර දැකිය හැක.
දරුණු යුද ගැටුම් අතරතුර වුව, මහත් වූ ප්‍රයත්නයක් දරා, එහි ඇතැම් වාද්‍ය භාණ්ඩ හා උපකරණ ආරක්ෂා කිරීමට පාලනාධිකාරිය සමත් විය. සංගීත පුහුණු පන්ති ඇරඹීමෙන් පසු සංගීත සංරක්ෂණාගාරයේ තරුණ සිසුසිසුවියන් බොහොමයක් අවතැන් කඳවුරුවල සිට සංගීතය හැදෑරීමට යොදා ගත්තේ සංගීත භාණ්ඩ ය.

සිසුවකු අතැති අරාබි වීනාවෙන් වාදනය වූ "අප හදවත් හි, අභියෝග ජය ගැනීමේ එක ද සිහිනයක් හෝ මැලවී නොයේ," යන ජන හද රැව්දෙන ගාසා තීරයේ ජනප්‍රිය ගීයෙක තනුවක් අවතැන් කඳවුරුවලට කොටු වූවෝ අසා සිටියහ. ඒ, 1948 ඊශ්‍රායලය බිහි වීමෙන් අනතුරුව, ගාසා තීරයේ දශක ගණනෙක අවතැන්වීම් ඔස්සේ, පලස්තීනුවන්ට සිය නිජබිම් අහිමි වීම පිළිබඳ විරෝදාකල්ප ගීයෙක තනුවයි.
කූඩාරමෙන් පිටත, සුණු විසුණු නිවෙසක් අසල තවත් ශිෂ්‍යයාවෝ තිදෙනෙක් ගිටාර වාදනයේ යෙදෙමින් සිටියහ. ඔවුන් අභ්‍යාස කළේ බටහිර තනුවකි. තවත් තැනෙක ගැටවර වියේ සිසුන් කිහිපදෙනකු මැද පෙරදිග අත් බෙර වාදනයේ යෙදෙමින් එහි රිද්මය හදාරමින් සිටිනු දක්නට ලැබිණි. මේ වාද්‍ය භාණ්ඩ සියල්ල, ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් දිවිගලවා ගත් සමීපතයින් සේ හැඟේ යැයි, එඩ්වඩ් සයිඩ් ජාතික සංගීත සංරක්ෂණාගාරයේ පාඨමාලා සම්බන්ධීකාරක, ෆවුඩ් කාදර් කියා සිටියේය.
සංගීතය හැදෑරීමට එක්වූ තරුණ සිසු සිසුවියන් සංඛ්‍යාව ඉහළ යත්ම, ඔවුන්ගේ පරිහරණය පිණිස අවතැන් වූවන් සන්තකයේ වූ තවත් සංගීත භාණ්ඩ රැසක් මිලදී ගැනීමට ද කටයුතු කෙරිණි.
ජාතික සංගීත සංරක්ෂණාගාරය සතු සංගීත භාණ්ඩ රැසක් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හමුවේ විනාශ වීමෙන් පසු, සංගීත පුහුණුව උදෙසා, හිස් ප්ලාස්ටික් කෑන් සහ ටින් යොදා ගනිමින් බෙර වැනි වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරගැනීම පිළිබඳව පවා අත්හදා බැලීම් සිදු කෙරිණි.
ගාසා තීරයේ ගැටුම් හමුවේ, ජාතික සංගීත සංරක්ෂණාගාරය වැනසී යාමෙන් අනතුරුව, එහි උපදේශක මණ්ඩලය ද සීසී කඩ විසිර ගියේය. 
පසු ගිය වසර මුල, ගාසා නගරයේ යළි සංගීත පාඨමාලා ආරම්භ කිරීමේ නව ව්‍යාපෘතියට අත ගසා සිටියේ, එසේ අවතැන්ව, යලි හමු වූ සංගීත උපදේශක එකමුතුවකි. අහමඩ් අබු අම්සා ඒ අනුව, ගාසා නගරයේ අවතැන් කඳවුරු තුළ, ගිටාර් පන්ති ඇරඹු එක් සංගීතාචාර්යවරයෙකි.
දකුණු ගාසා තීරයේ මිලියන 2.1ක පමණ අවතැන් ජනගහනයක් වෙසෙන කඳවුරු බිම්හි, ඔහු සන්ධ්‍යා ගිටාර් පුහුණු පන්ති ආරම්භ කළේය. ගාසා වැසියන්, සිය ගම්බිම් වෙතින් පලවා හැරීමේ ඊශ්‍රායල නියෝග සහ ප්‍රහාර හමුවේ, පලස්තීනුවන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් මෙම ප්‍රදේශ වෙත ගාල් කෙරිණි.
වසර උදාවේ ගාසා සටන් විරාමය ඇරඹීමත් සමග, 43 හැවිරිදි අම්සා ඇතුළු දහස් සංඛ්‍යාත සිවිල් වැසියෝ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හමුවේ වැනසී, සමතලා වූ ගාසා නගරය බලා උතුරු දෙසට සංක්‍රමණය වූහ.
ජාතික සංගීත සංරක්ෂණාගාරයේ සංගීත පුහුණු පාඨමාලා එහි යළි ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය. ඉකුත් සය මසක කාලය පුරා අම්සා ද දැඩි කැපවීමකින් එහි සේවයට එක් වූයේය.

අරාබි වීනා, අත්බෙර, වයලීන සහ බටනලා වැනි වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින්, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බටහිර මෙන්ම ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමේ අවස්ථා උදා කිරීමට මෙතෙක්, ඔහු ඇතුළු ඇදුරු මඬුල්ල ප්‍රශස්ත මෙහෙවරක යෙදී සිටියහ. එම සියලු අධ්‍යයන කටයුතු සිදු කිරීමට ඉතිරිව තිබුණේ, අවතැන් කඳවුරු සහ ෂෙල් ප්‍රහාරයන්ගෙන් විනාශව, ශේෂවූ, ආවාටයන්ගෙන් යුත් බිත්ති සහිත ගොඩනැගිලි කිහිපයක් පමණි. නව සංගීත ව්‍යාපෘතියට සමගාමීව, ගසා තීරයේ ළදරු පාසල්හිද මුල් ළමා විය සංවර්ධනය ඉලක්ක කරගත් සංගීත පාඩම් ආරම්භ කිරීමට බලධාරීහු පියවර ගත්හ.
ගාසා හි ආරම්භ කෙරුණු නව සංගීත පාඨමාලා දකුණු සහ මධ්‍යම ගාසා තීරය තෙක් පුළුල් කිරීමට ද ජාතික සංගීත සංරක්ෂණාගාර පාලනාධිකාරිය විසින් පියවර ගත්තේය. ඒ වෙනුවෙන් සංගීතඥයින් 12 දෙනකුගේ සේවය ඊට එක් කර ගැනිණි. ඉකුත් ජුනි මස අවසන් වන විට, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 600කට අධික සංඛ්‍යාවක් එහි අධ්‍යයන කටයුතු පිණිස එක්ව සිටියහ.
සංගීත පන්ති පැවති අවතැන් කඳවුරු භූමියට ඔබ්බෙන් දිස්වූ ගාසා නගරය, ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් මුළුමනින්ම දැවී වැනසුණු කොන්ක්‍රීට් වනාන්තරයකි. අවතැන් කඳවුරු වෙත කොටු වූ දහස් සංඛ්‍යාත පලස්තීනුවෝ, දැඩි ආහාර, ඖෂධ සහ පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටියද, ඒ සියලු බාධක දරා ගනිමින්, සංගීත ගුරුවරු සහ සිසු සිසුවියෝ, සිය අරමුණ කරා වෙහෙසකර ගමනෙක යෙදී සිටියහ.
තාරුණ්‍යය උදෙසාම ගාසා තීරයේ දියත් කෙරුණු සංගීතය උගැන්වීමේ මෙම නව ව්‍යාපෘතිය, යුද්ධයෙන් පීඩාවට පත් තරුණ කොටස් හට ජීවිතය පිලිබඳ විශ්වසනීයත්ත්වය තහවුරු කර, මානසික ඒකාග්‍රතාව ශක්තිමත් කිරීමට ඇරඹි කාලීන සංගීත චිකිත්සාවකැයි, බ්‍රිතාන්‍ය සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය එලිසබෙත් කූම්බ්ස් කියාසිටී. ඇය, බටහිර ඉවුරේ, පලස්තීනුවන් පිලිබඳ පර්යේෂණ රැසක් සිදු කළ බ්‍රිතාන්‍ය මහාචාර්යවරියකි.

විසි හැවිරිදි සාරා අල් සුවායිර්කී ට, සිය අවතැන් කූඩාරමේ සිට සංගීත පන්තියට ඇත්තේ පියවර මැනිය හැකි මඳ දුරකි. ගිටාර් වාදනය උගැන්මට ඉමහත් ඇල්මක් දක්වන ඇගේ නොතිත් ආශාව අනාගතයේ, රොක් සංගීත ශිල්පිනියක වීමය. එහෙත්, උග්‍ර සාගතය හමුවේ, කුසට අහරක් නොමැතිව, හාමතේ, ඇස් මායිමෙක පවා දෙපයින් ගමන් කිරීම ඉතා වෙහෙසකර බව ඇය කියා සිටියාය.
ගාසා දුර්භික්ෂය සිය ඇස් 'පනා පිට' ප්‍රත්‍යක්ෂ වේ යැයි, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල් රැසක් පුන පුනා කීවද, ඊශ්‍රායලය නෑසූ කනින් ය. හමාස් බල ප්‍රදේශය තුළ ප්‍රකාශිත ඒ පිලිබඳ දත්ත තවදුරටත් ගැටළු කාරී බව පවසන ඊශ්‍රායල රජය, සමස්ත ගාසා නගරයේ පාලනය යළි සියතට ගැනීමට ඉකුත් මස 06 දා, හදිසි තීරණයකට එළැඹියේය.
එම තීරණයත් සමග, එහි අවතැන් කඳවුරුවල වෙසෙන සහ තව දුරටත් ඒ අවට අවට පදිංචි පලස්තීනුවන් සියල්ලෝ, යළි විතැන්වීමේ දඩි අවදානමකට ලක්වූහ.
පසුගිය ඉරිදා (06) හමාස් සංවිධානයට යටත් වන්නැයි බල කරමින්, ඊශ්‍රායල හමුදා ගාසා නගරයෙන් වහා ඉවත්වන ලෙස, එහි සියලු පදිංචිකරුවන්ට සහ අවතැන් වූවන්ට නව හදිසි නියෝග නිකුත් කළේය. 
ගිටාර් වාදන පුහුණුවට පැමිණි, තරුණ ශිෂ්‍යාවන් දෙදනකු සහ සිසුවෙක් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, දොර ජනෙල් සුණු විසුණුවී, ආවාට සැදි, දෙදරා ගිය බිත්තිවලින් යුත් පාසල් පන්ති කාමරයක, හිඳ අභ්‍යාසයේ යෙදී සිටියහ. අතොරක් නැති ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ගෙන් අත්වූ මානසික කම්පනය සහ, සදහටම ප්‍රියයන් අහිමි වීමේ අතිශය වේදනාත්මක අත්දැකීම් ඇතුළු තවත් දහසකුත් කම්කටොලු මොහොතකට අමතක කර, සිත නිවීමට, එම ඛේදවාචකයන්ට මුහුණ පා සිටින ගාසා හි තරුණ ප්‍රජාවට සංගීතය මගින් ලබා දුන් පන්නරය ඊශ්‍රායල හමුදාවේ නව නියෝග හමුවේ දැන් තර්ජනයට ලක්ව තිබේ.
ගාසා තීරයේ, ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ ඝාතනය වූ පලස්තීනුවන් සංඛ්‍යාව මේ වන විට, 61,00 ඉක්මවයි. ඉන් 1400කට අධික පිරිසක් ආහාර රැගෙන එම පිණිස, ආධාර මධ්‍යස්ථාන වෙත යමින් සිටියදී එල්ල කළ, ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාර මධ්‍යයේ මරණයට පත් වූවෝය.
ගාසා දුර්භික්ෂයට, හමාස් සංවිධානය ඉඳුරා වගකිවයුතු බව ඊශ්‍රායල රජය අවධාරණය කරයි. 2023 ඔක්තෝබර 7 දා හමාස් සංවිධානය, ඊශ්‍රායල දේශ සීමාව ආක්‍රමණය කර සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් 1200ක් ඝාතනය විය. තවත් 250 දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත් වූහ. එම ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයෙන් හමාස් පාලනය මුලිනුපුටා දැමීමේ අරමුණින්, පලස්තීන ජන සංහාරය දියත් කළේය.

හමාස් සංවිධානය භාරයේ පසුවන සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර වහා යටත් වන ලෙසට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගයට අවනත නොවන්නේ නම්, අද, සමස්ත ගාසා තීරයම වනසන දැවැන්ත ගුවන් ප්‍රහාර කුණාටුවක් දියත් කරන බව ඊශ්‍රායල හමුදා මීට මඳ වෙලාවකට පෙර නිවේදනය කළහ.
අද, ගාසා නගරයට ඉහළ අහසේ සිට ඊශ්‍රායල ගුවන් හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් නගර වීදි ඔස්සේ ක්‍රියාන්විතයේ යෙදී සිටි හමාස් සන්නද්ධ රථ පුපුරා ගිනිගෙන විනාශ වූ බව පදිංචි කරුවෝ රොයිටර්ස් පුවත් සේවයට පැවසූහ.
සිය සන්නද්ධ සංවිධානය වෙත ඇමෙරිකානු ජනපති විසින් ලබා දුන් අවසන් අවස්ථාව යයි පැවසෙන නවතම සටන් විරාම යෝජනාව පිලිබඳ වැඩි දුර අධ්‍යයනය කරමින් පසුවන බව හමාස් සංවිධානය පවසයි.
ගාසා යුද්ධය, නිර්මාණශීලී තාරුණ්‍යය 'ඇති-පදම්' විනාශ කර, මොට කළේය. ජීවිතාපේක්ෂාව, හුදු කුසට අහරක් සහ බීමට දිය දෝතකට පමණක් සීමා ව ගොසිණි. විශාලාව සිහිගන්වන ගාසා හි වත්මන් ජීවිතය, අකල් මරණය හමුවේ මනුෂ්‍යත්වය මුහුණපා ඇති දැවැන්ත මානව ඛේදවාචකයකි.

උතරීතර ගුරු පිරිසක්, වදනට නොනැගිය හැකි තරමේ අතිශය කුරිරු යුද්ධයකට මැදි වූ ජන සමූහයක තාරුණ්‍යය, සංගීතය ඔස්සේ, වඩා පෘතුල මානවවාදී හර පද්ධතියක් වෙත යොමු කිරීමේ අභිලාෂයෙන් ගත් අතිශය දුෂ්කර ප්‍රයත්නය හුදු සිහිනයක්ව මිය යමින් පවතී. එම මාහැඟි ප්‍රයත්නය හා එක්වූ ගාසා සිසු සිසුවියන් විසින් ස්වර සප්තකයෙන් ලොවක් ඉදිරියේ තැබීමට උත්සාහ ගත් සමස්ත පලස්තීනුවන්ගේ මානුෂීය ආත්ම ප්‍රකාශනය ද දැන් අහවරය. යුද ගිනි දැල් අතර මේ වැනසෙන්නේ, සුවඳ දී සුපුෂ්පිත වන්නට වෙර දැරූ පලස්තීන අනන්‍යතාවයේ මල් කැකුලය.
(Reuters ඇසුරින් සිංහල අනුවර්තනය | හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Gaza's young musicians sing and play in the ruins of war
Israeli military spokesperson issues evacuation warning for residents in Gaza City







