අද (3) තෙවන දිනටත් ලෝක තෙල් මිල අඛණ්ඩව ඉහළ ගියේය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ (2), ඉරානය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීය. ඒ වෙතින් යාත්‍රා කෙරෙන නෞකාවන්ට වෙඩි තබන බවට තර්ජනය කර තිබේ. ඒ සමග මැද පෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදකයින් හා සිදු කෙරෙන සැපයුම් දාමය අඩාල වෙමින් පවතී.
බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකයේ ඇමෙරිකානු ඩොලර් 78.83ක්ව පැවති බොර තෙල් බැරලය ඩොලර් 1.10කින් පමණ එනම්, 1.4%කින් ඉහළ ගියේය. ඊයේ, බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.37ක් ව පැවතියේය. එය 2025 වසරේ මුල් මස සිට දිසි වැඩිම අගය ය.
එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් අතරමැදි (WTI) මිල ශත 74කින්, එනම් 1%කින් ඉහළ ගියේය. ඒ අනුව බැරලයක මිල ඩොලර් 71.97ක් ලෙස සටහන් විය.
යුද්ධය හීන වන බවක් නොපෙනේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඉරානය කලාපීය බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව දක්නට ලැබේ. ගැටුම් අඛණ්ඩව පවතින තාක් බලශක්ති අර්බුදය සීග්‍රයෙන් ව ර් ධ න ය වේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය ඊයේ, තව දුරටත් උත්සන්න විය. ඊශ්‍රායල හමුදා ලෙබනනයට ද ප්‍රහාර එල්ල කළහ. ප්‍රතිචාර වශයෙන්, ඉරානය ගල්ෆ් රටවල බලශක්ති මර්මස්ථාන සොයා පහර දුන්නේය. හෝර්මුස් සන්ධියේ ඉන්දන නෞකා ද එම ප්‍රහාර වල ඉලක්ක විය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සාමාන්‍ය දිනෙක ඉන්දන ප්‍රවාහනය, දෛනික ගෝලීය ඉල්ලුමෙන් පහෙක් එකකි. විශේෂයෙන්ම, ආසියාවේ, චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන විදෙස් වෙළඳපොල වෙත ඩීසල්, ගැසොලින් සහ තවත් ඉන්දන නිෂ්පාදන රැසක් ඒ ඔස්සේ ප්‍රවාහනය කෙරේ. ගෝලීය ගෑස් ඉන්දන (Liquefied Natural Gas) ප්‍රවාහනයේ 20%ක් ද එම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරේ.
ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා සඳහා නිකුත් කර තිබූ රක්ෂණාවරණ අදාළ සමාගම් විසින් ඉවත් කර ගැනීමත් සමග, නෞකා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තව දුරටත් මග හැර යාත්‍රා කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන ඕනෑම නෞකාවකට වෙඩි තබන බව, ඉරාන විප්ලවීය හමුදා ඊයේ පැවසූහ. හොන්ඩුරාස් ධජය යටතේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි නෞකාවක් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. එය, එහි ගිනි ගෙන දැවෙමින් ඇතැයි ඉරාන විප්ලවීය හමුදා පැවසූහ.
ඉදිරි දිනයන්හි ලෝක ඉන්දන මිල තව දුරටත් ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. ගෝලීය වෙළඳපොල මුළුමනින්ම මැද පෙරදිග යුද්ධයේ අහිතකර බලපෑමට නතුව පවතී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(
මුලාශ්‍රය :
Oil rises as expanding US-Israeli conflict with Iran elevates supply risks







