ගල්ෆ් රටවල් සමග ඉරානයේ සබඳතා බරපතල සමාලෝචනයකට ලක් විය යුතු බව සෞදි අරාබියේ ඉරාන තානාපති, අලිරෙසා එනයාටි ඊයේ (15) පැවසීය.
කලාපීය සමෘද්ධිය උදෙසා ඒ වෙත බාහිර ක්‍රියාකාරිකයින්ගේ ප්‍රවිෂ්ඨය අවම කළ යුතු යැයි, ඔහු එහිදී අවධාරණය කළේය.
රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ ලිඛිත සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඒ බැව් සඳහන් කළේය.
යුද්ධය හේතුවෙන් ඉරානය සහ මැද පෙරදිග රටවල් අතර සහයෝගිතාව පළුදු වේදැයි නැගූ පැනයකට පිළිතුරු දුන් තානාපතිවරයා, එම සියලු රටවල් අසල්වැසියන් බවත්, එම රටවලට අන්‍යොන්‍ය භාවයෙන් තොරව සාර්ථකත්වය කරා ලඟා විය නොහැකි බවත් කියා සිටියේය.

පසු ගිය දශක පහක කාලය පුරාවට කලාපය, බාහිර බලවේගයන්ට නතුවීම සියලු ගැටළුවලට මුල බව ද ඔහු කීය.
මැද පෙරදිග යුද්ධය ඇරඹි දා සිට මෙතෙක් ගල්ෆ් රටවල් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 2000කට අධික සංඛ්‍යාවකට මුහුණ පා සිටී. එම රටවල පිහිටි එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික දේපළ සහ හමුදා පහසුකම් රැසක් ඊට හසු විය. ඊට අමතරව, ගල්ෆ් කලාපයේ ඉන්දන යටිතල පහසුකම්, වරාය, ගුවන්තොටුපොළ, හෝටල්, නේවාසික සහ කාර්යාලයීය ගොඩනැගිලි රැසක් වෙත ද එම ප්‍රහාර එල්ල විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් විසින් ඉරානයේ පරම හතුරා වන ඊශ්‍රායලය සමග ද්වී පාර්ශ්වීය සබඳතා 2020 වසරේ දී යථාවත් කෙරිණි. එම රටවල් සියල්ල විසින්, මේ වන විට, ඉරානය දැඩි විවේචනයට ලක් කර තිබේ.
සෞදි අරාබියේ ඉන්දන යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා, ඉරාන තානාපති ප්‍රතික්ෂේප කරයි.

"මේ ප්‍රහාරවලට වග කිව යුතු පාර්ශ්වය ඉරානය නොවේ. එම ප්‍රහාර සිදු කළේ ඉරානය විසින් නම්, ටෙහෙරානය ඒ බව නිවේදනය කරනවා," ඔහු එසේ පැවසීය.
එහෙත්, එම ප්‍රහාරවලට වගකිව යුත්තේ කවරකු දැයි ඔහු විසින් සඳහන් කර නොමැත. ඉරානය විසින් ප්‍රහාර එල්ල කරන ලද්දේ එම රටවල පිහිටි එක්සත් ජනපද සහ ඊශ්‍රායල මර්මස්ථාන වෙත පමණකැයි ඔහු අවධාරණය කළේය.
එහෙත්, පසු ගිය දා, ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියන්, අසල්වැසි මැද පෙරදිග රටවල් වෙත එල්ල කළ එරට ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීය.
"ඉරාන ක්‍රියාන්විත හේතුවෙන් අපහසුතාවයට පත් සියලු අසල්වැසි රාජ්‍යයන්ගෙන් මම පෞද්ගලිකවම සමාව අයැද සිටිනවා," ඔහු පැවසීය. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයන්ට දායක නොවන ලෙස, ඔහු මැදපෙරදිගින් ඉල්ලා සිටියේය.
මැද පෙරදිග රටවල සිට ඉරානය වෙත ප්‍රහාර එල්ල නොවනතාක් එම රටවලට පෙරලා ප්‍රහාර අත්හිටුවීමට නායකත්ව කවුන්සිලයේ අනුමැතිය ලද බව ද ඔහු දන්වා සිටියේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලශ්‍රය :
Exclusive: Iran wants 'serious review' of Gulf ties, denies role in Saudi oil attacks







