ඝාතනයට ලක් වූ හිටපු ඉරාන උත්තරීතර නායකයාට අයත් ගුවන් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා අද (16) දන්වා සිටියහ.
ජ්‍යෙෂ්ඨ ඉරාන නායකයින් සහ හමුදා නිලධාරීන් සිය සන්ධාන පාර්ශව හමුවීමට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් සංචාර සඳහා එය යොදා ගෙන ඇතැයි ද ඊශ්‍රායල හමුදා පැවසූහ.
අද අළුයම එරට මෙහ්රාබාද් ගුවන්තොටුපොළට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් එම යානය විනාශ විය.
මෙහ්රාබාද් යනු ටෙහෙරානයේ පිහිටි පැරණිතම ගුවන්තොටුපොළකි. වත්මන, එය දේශීය සහ කලාපීය ගුවන් ගමන් පිණිස භාවිත කෙරේ. එරට කාර්ය බහුලම දේශීය සිවිල් ගුවන්තොට එය වේ. සිවිල් ගුවන් කටයුතු වලට අමතරව එරට ගුවන් හමුදාව විසින් ද එම ගුවන්තොටුපොළ පරිහරණය කෙරේ.
ෆුජෙයිරා වරායේ මෙහෙයුම් නවතී

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරායේ ඉන්දන නැව්ගත කිරීමේ මෙහෙයුම් වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. අද එහි පෙට්‍රෝලියම් කාර්මික කලාපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ගින්නක් හට ගැනීම ඊට හේතුවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියට එපිටින් ගල්ෆ් තුඩුවේ ෆුජෙයිරා වරාය පිහිටා තිබේ. එහි සිට දෛනිකව මර්බන් බොරතෙල් බැරල මිලියනයක් පමණ නැව් ගත කෙරේ. එය සාමාන්‍ය ගෝලීය ඉල්ලුමෙන් 1%ක පමණ ධාරිතාවකි.
සිවිල් ආරක්ෂක සේවා ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටිති. ප්‍රහාරයෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා නොවේ. මෑත දින කිහිපය තුළ ඉන්දන අපනයනය කෙරෙහි ඒ වෙතින් වාර්තාවන දෙවන බරපතලතම බාධා කිරීම මෙය වේ. ඉකුත් සති අන්තයේද ඊට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Israel says it destroyed plane used by Iran's late Supreme Leader Khamenei
Oil loading operations suspended at UAE's Fujairah port, sources say







