ඉරානයට එරෙහි ඇමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ මුස්ලිම් ලෝකයේ රටවල් තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බව ඉරානයේ ඉහළ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලරිජානි (Ali Larijani ) ප්‍රකාශ කර ඇති බව පලස්තීන් ක්‍රොනිකල් වාර්තා කරයි.
ඉරාන ජනතාව ශක්තිමත් ජාතික ප්‍රතිරෝධයකින් ප්‍රහාරකයන් උපායමාර්ගික අර්බුදයකට යවා ඇති පසුබිමක "ඔබ සිටින්නේ කුමන පැත්තේද?” යනුවෙන් ලරිජානි මුස්ලිම් ආන්ඩුවලට පැනයක් යොමුකර ඇතැයි එහි සඳහන් වේ.
යුද්ධය අතරතුර බොහෝ ඉස්ලාමීය රටවල් ඉරානයට ලබා දුන්නේ සීමිත සහයක් බවටද ඔහු විවේචනය කර ඇත.
ලරිජානි අවධාරණය කරන්නේ සීමිත අවස්ථා කිහිපයක් හැර බොහෝ රටවල් දේශපාලන ප්‍රකාශන මට්ටමෙන් පමණක් ඉරානයට සහාය දක්වා ඇති බවයි.
සිය භූමිය තුළ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා භාවිතාවට දී එවැනි කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය විවේචනය කරන ස්ථාවරයද ඔහු ප්‍රශ්න කළේය.

“එම රටවල් තුළ ඇති ඇමරිකානු කඳවුරු ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන විට, ඉරානය අත බැඳගෙන බලා සිටිය යුතුද?” ලරිජානි ප්‍රශ්න කළේය.
ඒ අනුව මුස්ලිම් රටවල ආන්ඩු නොසඟවා සිය ස්ථාවර කිව යුතු යැයි ඉරාන ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළ බව පලස්තීන් ක්‍රොනිකල් පවසයි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)
මුලාශ්‍ර :
What Kind of Islam Is This?’ — Larijani’s Full Message to a Silent Muslim World
Larijani rebukes UAE, other Islamic states for not backing Iran during war







