හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කරන ඉන්දන නෞකාවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බටහිර සන්ධානයේ රටවල් කිහිපයක් ඔහුගේ දෝෂ දර්ශනයට පාත්‍ර ව තිබේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල සන්නද්ධ ක්‍රියාන්විතය එහි තෙවන සතියට අවතීර්ණව ඇත. එහි අවසානයක් මේතාක් දක්නට නොවේ. ලොව ඉන්දන ප්‍රවාහනයෙන් 20% ක් සිදු කෙරෙන තීරණාත්මක හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවමත් තහනම් කලාපයක්ව පවතී. ගෝලීය බලශක්ති මිල සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ද වර්ධනය වෙමින් ඇත.
ජනපති ට්‍රම්ප් කනස්සල්ලෙන්

එක්සත් ජනපද පාර්ශවකරුවන් වන ජර්මනිය, ස්පාඥ්ඥය සහ ඉතාලිය ද එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම පිණිස සිය නෞකා යැවීමේ කඩිනම් සැලැස්මක් මෙතෙක් නැතැයි දන්වා යැවීය. ඉරානය ඒ වෙත ප්‍රහාරක ඩ්‍රෝන යානා ඉලක්ක කර ඇති අතර සමුද්‍ර සන්ධිය ඔස්සේ මුහුදු බෝම්බ අතුරා ඇති බවට ද අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද ඉල්ලීමට යහ ප්‍රතිචාර දැක්වීම පිණිස එක්සත් ජාතීන්ගේ, යුරෝපීය සංගමයේ හෝ නැටෝ සංවිධානයේ අනුමැතිය අවශ්‍ය බව, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, බර්ලිනයේ දී පැවසීය. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද්ධයට පෙර ඒ පිළිබඳව ජර්මානු රජය විමසා නොසිටි බව ද ඔහු සිහි කැඳවීය.
බොහෝ රටවල් තමන්ට සහාය දෙන බව පවසා සිටිය ද දැන්, ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම විමතියට කරුණකැයි, වොෂින්ටන් නුවර ධවල මදිර උත්සව අවස්ථාවකට සහභාගි වූ ජනපති ට්‍රම්ප් පැවසීය. එක්සත් ජනපදයේ දිගු කාලීන මිතුරන් ඔහුගේ විවේචනයට බඳුන් විය.
"සමහර රටවල් මේ ගැන හරි උනන්දුයි. සමහරු නම් එහෙම නෑ. සමහර රටවලට අපි අවුරුදු ගණන්, එක දිගට උදව් කළා. ඉතා දරුණු බාහිර බලවේගයන්ගෙන් අපි ඔවුන්ව ආරක්ෂා කළා. හැබැයි, අන්න ඒ වගේ අය මේ වෙලාවෙ අප ගැන එතරම් උනන්දුවක් දක්වන බවක් පෙන්න නෑ... අන්න ඒක නම් මට ප්‍රශ්නයක්," ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
අදත් මැද පෙරදිග අඛණ්ඩ ප්‍රහාර

අද (17) උදෑසන සිටම මැද පෙරදිග කලාපයේ ප්‍රහාර තව දුරටත් උත්සන්න විය.
ටෙහෙරානය පුරා පිහිටි ඉරාන රාජ්‍ය යටිතල පහසුකම් රැසක් ඊශ්‍රායලයේ ඉලක්ක බවට පත් විය. ඊශ්‍රායලය, බීරුත් හි හිස්බුල්ලා ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල කළහ. අවමව, තවත් සති තුනක කාලයක් ඉරානය වෙත දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි ඊශ්‍රායලය ඊයේ දැන්වීය.
ඉරානය ද අද අළුයම සිට ඊශ්‍රයල ඉලක්ක වෙත ප්‍රති ප්‍රහාර එල්ල කළේය. ඉරාන හමුදා තවමත් සන්ධාන සතුරු කඳවුරු වෙත දිගු දුර ප්‍රහාර එල්ල කරමින් සිටිති. ඔවුහු අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ද ප්‍රහාර එල්ල කළහ. රජය ආරක්ෂාකාරී පියවරක් ලෙස ඊට අයත් ගුවන් කලාපය වහා වසා දැමීමට පියවර ගත්තේය.

ෆුජෙයිරා හි පිහිටි ඉන්දන සංචිතයක් ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය. ඊයේ ද ඒ වෙත ප්‍රහාර එල්ල කෙරිණි. ෆුජෙයිරා, එමිරේට් රාජ්‍යයේ ප්‍රධාන ඉන්දන අපනයන වරායක් ද වේ.
අද අළුයම බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. නගරය වටා ස්ථාන කිහිපයක සිට එම ප්‍රහාර එල්ල කෙරිණි. ප්‍රහාරය සඳහා පැමිණි ඩ්‍රෝන යානා දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කෙරිණි. බැග්ඩෑඩ් වෙතින් පිපිරුම් හඬ ඇසිනි. අවට සිටින ඉරාන සහාය හිමි සන්නද්ධ කල්ලි විසින් එම ප්‍රහාර එල්ල කළ බවට සැක පල කෙරේ.

ඊයේ (16) ඉරාන සහාය හිමි කටෙයිබ් හෙස්බොල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ නිලධාරී සහ ප්‍රකාශක ඝාතනය කෙරිණි. සිරියාව ආසන්නයේ පිහිටි ඉරාක නගරයක් වන අල්-ඛයිම් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ ඔවුන්ගේ සටන් සගයින් අට දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද එම සංවිධානය පැවසීය.
(සටහන |Reuters ඇසුරින්;හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(
මුලාශ්‍ර :
Iran renews attacks on US Gulf allies, Trump says that was not expected
Drones, rockets fired at US embassy in Baghdad, security sources say







