චීන විදේශ අමාත්‍ය,වැඞ් යී උතුරු කොරියාවේ සංචාරයකට සැරසේ. මෙම මස 9 - 10 අතර එම සංචාරය සිදු කිරීමට නියමිතය.
එය, කොවිඩ් - 19 ගෝලීය වසංගතයෙන් අනතුරුව පෙරදිග ආසියානු අසල්වැසි දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා උදෙසා තැබෙන දැවැන්ත පියවරකි.
චීන විදේශ අමාත්‍යවරයා ලෙස වැඞ් යී අවසන් වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වුයේ 2019 වසරේ දී ය. ඒ, එම වසර මුල පැවති දෙරට නායක හමුවෙන් අනතුරුව ය.

"චීනය සිය දිගුකාලීන මිතුරකු වන උතුරු කොරියාව සමග උපාය මාර්ගික සන්නිවේදනය ඔස්සේ සහයෝගිතා හුවමාරු ප්‍රවර්ධනයට ප්‍රසාදශීලී ප්‍රවේශයකට අවතීර්ණ වීමේ අපේක්ෂාවෙන් පසුවනවා. එවැනි පසුබිමක, චීන විදේශ අමාත්‍යවරයාගේ එළැඹෙන උතුරු කොරියානු නිල සංචාරය, ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීම උදෙසා මාහැඟි පිටුවහලක් වන බව අපේක්ෂාවයි," චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා, මාවෝ නිඞ් ජන මාධ්‍ය හමුවේ පැවසීය.
චීනය හා උතුරු කොරියාව අතර ද්වීපාර්ශ්වීය සබඳතා සුරක්ෂා කිරීම, ශක්තිමත් කිරීම සහ සංවර්ධනය, පාලක පක්ෂයේ සහ රජයේ අචල උපායමාර්ගික ප්‍රතිපත්තියක් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
කොවිඩ් - 19 වසංගත හමුවේ දෙරට අතර සහයෝගිතා දුරස් වුව, උතුරු කොරියාව සිය කක්ෂය වෙත ලඟා කරගැනීම උදෙසා චීනය වෙසෙස් කාර්යයක් ඉටු කළේය. උතුරු කොරියා නායක, කිම් ජොඞ් උන් රුසියාව සමග ද්වීපාර්ශ්වීය සහයෝගය තර කළ අතර යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයට සහාය පිණිස උතුරු කොරියානු කුලී හේවායන් ද පිටත් කර හැරියේය.

2020 වසරේ කොවිඩ් - 19 වසංගතයත් සමග සය වසරක් තිස්සේ ඇණ හිට තිබූ, බෙයිජිඞ් සහ ප්‍යෝන්ග්යැන්ග් අතර මගී දුම්රිය සේවා පසු ගිය මාර්තු මස යළි ඇරඹිණි. චීනයේ 'එයාර් චයිනා' නිල ගුවන් සේවය ද දෙරට අගනුවර අතර ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට පියවර ගත්තේය.
උතුරු කොරියානු නායක කිම් ජොඞ් උන්, ඉකුත් සැප්තැම්බරයේ කවචාවරණිත ආරක්ෂක දුම්රියකින් බෙයිජිඞ් නුවර පැවති දැවැන්ත හමුදා සංදර්ශනයකට සහභාගී විය. එහිදී, ඔහු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු නායකයින් රැසක් හමු විය. ඔහු සහ චීන ජනපති ෂී ජින්පිඞ් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඉකුත් ඔක්තෝබරයේ චීන අග්‍රාමාත්‍ය, ලී චියැන්, ප්‍යෝන්ග්යැන්ග් හි නිල සංචාරයක නිරත විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
China's foreign minister to visit North Korea to bolster loosened ties







