ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වොෂින්ටනය සමග ඇති කරගත් සටන් විරාමය අනතුරේ හෙළීම ඉරානය කරන "මෝඩකමක්" වනු ඇති බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අනතුරු අඟවා ඇත.
මෙම සටන් විරාමය සඳහා මැදිහත් වූ පාකිස්ථානය, සති දෙකක කාලසීමාවකට අදාළ එම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් බව පැහැදිලිව ප්‍රකාශ කළද, ඊශ්‍රායලය ලෙබනනයට පහරදීම නතර කරන බවට අමෙරිකාව එකඟ නොවූ බව වෑන්ස් පවසා ඇති බව සඳහන්වේ.
"තමන් දැඩි ලෙස පසුබෑමකට ලක්ව සිටි ගැටුමකදී, තමන්ට කිසිදු සම්බන්ධයක් නැති සහ සටන් විරාමයේ කොටසක් බව අමෙරිකාව කිසිසේත් ප්‍රකාශ නොකළ ලෙබනනය වෙනුවෙන් මෙම සාකච්ඡා බිඳවැටීමට ඉරානය ඉඩ දෙන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයක්. අප සිතන්නේ එය මෝඩකමක් බවයි, නමුත් එය ඔවුන් සතු තේරීමක්." යනුවෙන් ඔහු පවසා තිබේ.
ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර: 254ක් මරුට
ඊශ්‍රායලය ඊයේ (08) දවස පුරා ලෙබනනයට එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ, ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙරයි.
ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙය පසුගිය මාර්තු 02 වැනිදා ලෙබනනය තුළ නව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය එල්ල කළ විශාලතම සහ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.
සටන් විරාම ගිවිසුමට ලෙබනනය,ඇතුළත් නොවන හේතුව ?

අමෙරිකාව සහ ඉරානය අතර ඇති සටන් විරාම ගිවිසුමට ලෙබනනය, ඇතුළත් නොවන්නේ හිස්බුල්ලා සංවිධානය නිසා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවය ඔහු සඳහන් කර තිබේ.
මුලාශ්‍ර :
JD Vance says Iran would be ‘dumb’ to let talks collapse over Lebanon
White House: Lebanon is Not Part of the Ceasefire Agreement
Israeli attacks across Lebanon kill at least 254 after Iran-US ceasefire







