මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.
ඉකුත් සති අන්තයේ එහි බමාකෝ අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක සිදු වූ සංවිධනාත්මක ප්‍රහාරයන්ගෙන් අනතුරුව එම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, නැවත දැනුම් දෙන තෙක් එරට සංචාරයෙන් වලකින ලෙස සංචාරක උපදෙස් ද යාවත්කාලීන කර තිබේ.
එරට ආරක්ෂක තත්ත්වය යහපත් නොවන බැවින්, මාලි දේශයෙන් පිට වන තෙක් නේවාසික ස්ථානයන්හිම රැඳී සිටින ලෙස ද ප්‍රංශ ජාතිකයින්ට උපදෙස් නිකුත් කර ඇත. එරට රැඳී සිටින තාක් රජයේ උපදෙස්වලට අනුගතව කටයුතු කරන ලෙස සහ ඥාතීන් දැනුම්වත් කර තබන ලෙස එමගින් වැඩි දුරටත් දන්වා ඇතැයි ප්‍රංශ විදේශ අමාත්‍යංශය දැන්වීය.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ක්‍රියාත්මක අල් ඛයිඩා සංවිධානයට සම්බන්ධ බෙදුම්වාදී කල්ලියක් පසුගිය සෙනසුරාදා (25), එරට හමුදා මූලස්ථානයට සහ අගනුවර ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළේය. උතුරේ පිහිටි උපායශීලී නාගරික කලාපයක් වන කිඩාල් හි රාජ්‍ය හමුදා සහාය පිණිස රඳවා සිටින රුසියානු හමුදා කණ්ඩායම් ඉන් පලවා හැරීමට ද බෙදුම්වාදීහු කටයුතු කළහ.
එම ප්‍රහාරයන්ට වගකිවයුත්තන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව මාලි හමුදා රජයේ ප්‍රධානී ඊයේ (28), දැනුම් දුන්නේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







