ඉරාන යුද්ධය පිණිස එක්සත් ජනපදයට මෙතෙක් වියදම්ව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් බව ඊයේ (29) අනාවරණය විය.
එරට මධ්‍යවාර මැතිවරණයට තවත් ඇත්තේ මාස හයක කාලයකි. බහුතරය රැක ගැනීමට නම්, ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයින් ඉමහත් වෙහෙසක් දැරිය යුතුමය. ජන - අප්‍රිය ඉරාන යුද්ධය ජය ගැනීම උදෙසා ට්‍රම්ප් රජයේ ප්‍රබෝධය එරට වැසියන්ගේ ඉමහත් අපුලට කරුණකි. ඒ හේතුවෙන්, දැනටමත් මැතිවරණය පිලිබඳ ජන මතයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ඉදිරියෙන් සිටිති.

යටකී වියදමෙන් වැඩි හරිය පුපුරණ ද්‍රව්‍ය සහ යුදෝපකරණ සඳහාය. මැදපෙරදිග විනාෂ වූ එක්සත් ජනපද කඳවුරු ප්‍රතිසංස්කරණයට අදාළ ඇස්තමේන්තු එම වියදමට ඇතුළත් දැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත්, එම ඩොලර් බිලියන 25ක යුද වියදම මෙම වසරේ නාසා ආයතනයේ සමස්ත අය වැය ට සමාන මුදලකි. යුද්ධයේ මුල් දින හයට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3ක් වත් වැයව ඇති බව පෙන්ටගනය මීට පෙර නිවේදනය කළේය.
ඉරානය සන්තකයේ මතු කිසි දිනෙක න්‍යෂ්ටික අවියක් නොපැවතිය යුතුය යන අරමුණ පෙරදැරිව එම වියදම් සාධාරණීකරණය කරන බව ආරක්ෂක ලේකම්, පීට් හෙග්සෙත් සෙනෙට් සභිකයින් අමතා කියා සිටියේය.

ඉරාන යුද්ධය මේ වන විට පවත්නේ, වහා බිඳෙන සුළු සටන් විරාමයක් අබියස ඉසිඹුවක ය.
පෙබරවාරි 28 දා, ඊශ්‍රායලය හා එක්ව එක්සත් ජනපද හමුදා ඉරානයට පහර දීම ආරම්භ කළහ. පෙන්ටගනය මේ වන විටත් දස දහස් සංඛ්‍යාත අමතර හමුදා මැදපෙරදිග කලාපය වෙත පිටත් කර ඇත. දැවැන්ත, ගුවන් යානා වාහක නෞකා තුනක් ද කලාපයේ ස්ථානගත කර තිබේ.
මෙතෙක් යුද්ධයෙන් මිය ගිය එක්සත් ජනපද භටයින් ගණන 13කි. තවත් සිය ගණනක් තුවාළ ලදහ.
නොවැම්බරයේ මධ්‍යවාර මැතිවරණය පිලිබඳ වැඩියෙන් බියපත්ව ඇත්තේ රිපබ්ලිකන් පාක්ෂිකයින් ය. යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදයේ ද උද්ධමනය ඉහළ ගියේය. භාණ්ඩ මිල වැඩි විය.
හෝර්මුස් ගැටලුව හේතුවෙන් ඉන්දන සහ ස්වභාවික ගෑස් ප්‍රවාහනයට එල්ල වූ බාධා නිසා, එරට ද ඉන්දන මිල ඉහළ ගියේය. තවත් වැඩි වූ පාරිභෝගික ද්‍රව්‍ය සහ භාණ්ඩ රැසක මිල අතර ඉහලින් ම ඇත්තේ කෘෂිකර්මාන්තයට අවැසි පොහොර වැනි නිෂ්පාදන ය.
වසර හතරක් තුළ එරට වැඩිම ඉන්දන මිල සාමාන්‍යය, අඟහරුවාදා (28) වාර්තා විය.
මේ සියල්ල පවසන්නේ ඉරාන යුද්ධයේ අනිසි දේශපාලන ප්‍රති විපාක ලෙස, එක්සත් ජනපදය තුළ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළ වැටෙමින් ඇති බවය.
මාර්තු මස එක්සත් ජනපද - ඉරාන ගැටුම අනුමත කළ පිරිස එරට ජනගහනයෙන් 38%ක් පමණි. අප්‍රේල් මස එය 36% තෙක් අඩු විය. දැන් එම ප්‍රතිශතය 34%කි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
US war in Iran has cost $25 billion so far, says Pentagon official







