පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් තිබේ.
මෙය අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් හෙවත් සියයට 6.3කින් ඉහළ ගොස් ඩොලර් 114.96ක් ලෙස සටහන් විය.
එමෙන්ම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් සියයට 4.2කින් ඉහළ ගොස් ඩොලර් 106.17ක් දක්වා වැඩි වී තිබේ.
ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ "Project Freedom" මෙහෙයුමේ නිරත අමෙරිකානු නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළහොත්, ඉරානය "ලෝක සිතියමෙන් අතුගා දමන" බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, Fox News නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ය.
මෙහිදී, අමෙරිකානු නාවික වත්කම්වලට එරෙහිව ඉරානය සිදුකරන ඕනෑම ප්‍රහාරයකට අතිශය විනාශකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ජනපතිවරයා අවධාරණය කර තිබේ.
කෙසේවුවද එම දුරකතන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවයි.
මීට පෙරද ට්‍රම්ප් මෙවැනිම තර්ජන එල්ල කර තිබූ අතර පසුගිය මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කියා සිටියේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවය.

ටෙහෙරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු හමුදාව විසින් ඉරාන බෝට්ටු හතක් වෙඩි තබා විනාශ කළ බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් වෙබ් අඩවියේ සටහන් කර තිබුණි.
එසේම තමා ඉදිරියේ විකල්ප දෙකක් ඇති බව ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
එනම් යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමයි.
කෙසේවෙතත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමග මේ වන විට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.







