කටාර් රාජ්‍යය වෙතින් එක්සත් ජනපද ජනපතිවරයා වෙත බොයිඞ් 747 වර්ගයේ නව ගුවන් යානයක් ත්‍යාග වශයෙන් පිරිනමා තිබේ.
එරට 250 වන ජාතික සංවත්සරයට සමගාමීව, එලැඹෙන ජුලි 4 දා එය, 'එයාර් ෆෝර්ස් වන්' (Air Force One) ගුවන් බල ඇණියට එක් කිරීමට නියමිත බව එක්සත් ජනපද ගුවන් හමුදාව පවසයි.
ධවල මන්දිරය 2025 වසරේ, කටාර් රාජ්‍යය විසින් තිළිණයක් ලෙසින් ලද එම අධි සුඛෝපභෝගී යානය ඉමහත් ප්‍රීතියෙන් පිළිගත්තේය. අනතුරුව එය, ජනපති ධජය යටතේ නවීකරණය කර තත්ත්වයෙන් උසස් කිරීම පිණිස එක්සත් ජනපද ගුවන් හමුදාව වෙත පැවරිණි. ඒ අනුව, එහි නවීකරණ කටයුතු 'එල් ත්‍රී හැරිස්' ( L3Harris) සමාගම වෙත භාර දෙන ලදී. මේ වන විට, කඩිනමින් සිදු කෙරෙන එම නවීකරණ කටයුතු නියමිත කාල සීමාවේ අවසන් කිරීමට එම සමාගම සමත් වුවහොත්, ජාතික සැමරුමට පෙර ම එය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීම අපේක්ෂාව ය.
එම නියමිත දින ට සති හතරකට පෙර එනම්, ජනපතිගේ උපන් දිනය යෙදෙන ජුනි 14 දා ම, එය ඔහු වෙත ලබා දීම සමාගමේ අපේක්ෂාවයි.
කටාර් රාජ්‍යයෙන් ලද එම තිළිණය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දැඩි විව්චනයට බඳුන්ව තිබේ. එය එක්සත් ජනපද ජනපතිවරයා විසින් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් බලපෑම් එල්ල විය හැකි අභිලාෂයන් පිලිබඳ ගැටුම්කාරී තත්ත්වයක් බවට ඔවුහු අනතුරු අඟවති. එහෙත්, වෙළඳපොල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික, වසර 13ක් පැරණි එම ගුවන් යානය, ත්‍යාග වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් එල්ල වන සියලු චෝදනා ජනපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. "ඕක භාර ගන්න බෑ කියන එක මරි මෝඩ වැඩක්," ඔහු කියයි.
වත්මන් 'එයාර් ෆෝර්ස් වන්' ගුවන් බල ඇණිය, නවීකරණය කරන ලද සුඛෝපභෝගී 747-200B ගුවන් යානා දෙකකින් සමන්විතය. ඒ අතුරින්, යම් අවස්ථාවක ජනපතිවරයා ගමන් ගන්නා ගුවන් යානය, 'එයාර් ෆෝර්ස් වන්' ලෙස හැඳින්වේ.
කටාර් වෙතින් ලද නව ගුවන් යානය නවීකරණය කිරීමේ පියවරට එහි ආරක්ෂක ක්‍රමෝපාය යාවත්කාලීන කිරීම අනිවාර්ය ය. ඒ යටතේ, යානය තුළ සියළු කතා බහ, ඔත්තුකරුවන්ට ශ්‍රවනය කිරීමට නොහැකි වන සේ එහි සන්නිවේදන උපකරණ නවීකරණය කෙරේ. තවද, සතුරු ප්‍රහාරයකදී 'එයාර් ෆෝර්ස් වන්' යානය, ඒ වෙත එල්ල වන මිසයිල පලවා හැරීමේ හැකියාවෙන් ද සමන්විත කෙරේ.
මේ වන විටත් එම සියලු නවීකරණ අවසන් ව, ගුවන් යානය පරීක්ෂණ ධාවනයෙන් ද සමත්ව ඇත. දැන්, එහි වර්ණ ගැන්වීම සිදු කෙරෙන බව එක්සත් ජනපද ගුවන් හමුදාව පවසයි.

මේ වන විට, 'එයාර් ෆෝර්ස් වන්' නිල ප්‍රතිස්ථාපන වැඩසටහන ප්‍රමාදව පවතී. එම වැඩසටහන යටතේ බොයිඞ් සමාගම මගින් නිෂ්පාදිත 747-8 යානා දෙකක් ඉදිරි පෙළ තාක්ෂණයෙන් සමන්විත අනාගත ජෙට් ගුවන් යානා ලෙස නවීකරණය කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩසටහන දැනටමත් සිව් වසරකින් ප්‍රමාදව ඇත. නවීකරණ නිම කර එම ගුවන් යානා ජනපති ගුවන් බල ඇණියට එක් වන්නේ 2028 මැද භාගයේ දීය. ට්‍රම්ප් ජනපතිවරයාගේ දෙවන, ධුර කාලය 2029 ජනවාරි මස අවසන් වේ. අනාගත ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොවුනහොත්, මේ ඔහුගේ අවසන් ධුර කාලයයි.
ඇමෙරිකානු ඩොලර් 3.9 ක 'එයාර් ෆෝර්ස් වන්' නිල ප්‍රතිස්ථාපන කොන්ත්‍රාත්තුව බොයිඞ් සමාගම වෙත පිරිනැමුණේ 2018 වසරේ දීය. මේ වන විට එහි වියදම පමණක් ඩොලර් බිලියන 5 ඉක්මවා තිබේ.

එක්සත් ජනපද ගුවන් හමුදාව එහි විධායක බල ඇණිය සඳහා නොබෝ දා නව වර්ණ කේත සංග්‍රහයක් එළි දැක්වීය. එය රතු, සුදු, තද නිල් සහ රන් වර්ණයෙන් යුක්තය. ඒ අනුව, නිල ප්‍රතිස්ථාපන වැඩසටහන යටතේ නවීකරණය වන 'එයාර් ෆෝර්ස් වන්' යානා දෙක සඳහා ද එම වර්ණ සංග්‍රහය භාවිතා කෙරේ.
'එයාර් ෆෝර්ස් වන්' ගුවන් බල ඇණිය සඳහා දැනට භාවිතා කෙරෙන ස්වේත සහ ද්වි-වර්ණ නිල් පැහැ කේත සංග්‍රහය කෙනඩි ජනපති සමයේ සිට භාවිතා කෙරෙන්නකි.
පසු ගිය දෙසැම්බරයේ එක්සත් ජනපද ගුවන් හමුදාව ලුෆ්තන්සා 747 8i (Lufthansa 747-8i) ගුවන් යානා දෙකක් මිල දී ගත්තේය. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400කි. ඉන් එක් ගුවන් යානයක්, 'එයාර් ෆෝර්ස් වන්' ගුවන් සහ නඩත්තු කාර්ය මණ්ඩල පුහුණු කිරීම පිණිසය. අනෙක, දැනට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස ය. 1990 සිට සේවයේ යොදවා ඇති වත්මන් ජනපති යානා දෙක නුදුරේදීම විශ්‍රාම ගැන්වීමට නියමිත ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Exclusive: US aims for Fourth of July to deploy Qatar-gifted jet as Air Force One







