පලස්තීන ජනයා නියෝජනය කරමින් ගාසා තීරයේ ඉදිරිය පිලිබඳ එක්සත් ජනපද මැදිහත්වීමෙන් සිදු කෙරෙන සාකච්ඡා සඳහා සහභාගි වන හමාස් නියෝජිත පිරිසේ ප්‍රධානීගේ පුත්‍රයා ඊයේ (6), එහි එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හමුවේ ඝාතනය විය.
ඊශ්‍රායල - පලස්තීන සටන් විරාමය පිලිබඳ කයිරෝ නුවර සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ එම ඝාතනය සිදු විය.
එසේ ඝාතනය වූයේ පලස්තීන නියෝජිත පිරිසේ ප්‍රධානී ඛලිල් අල් - හයියා ගේ පුත්, අසාම් අල් - හයියා ය.
ඊයේ රාත්‍රී සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ලත් තුවාළ හමුවේ ඔහු ජීවිතක්ෂයට පත් බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ඔහු, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ජීවිතක්ෂයට පත්, පිටුවහල් කරන ලද එම ගාසා ප්‍රධානීගේ පුතුන් අතර සිව් වැන්නා ය.

ඛලිල් අල් - හයියා සතුව පුතුන් සත් දෙනෙකි. ඔහු ද ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ම දිවි ගලවා ගත් මුල් පෙළ හමාස් නායකයෙකි. හමාස් නායකත්වය ඉලක්ක කර, පසු ගිය වසරේ දෝහා හි එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහුගේ පුත්‍රයකු මිය ගිය අතර ඛලිල් අල් - හයියා දිවි ගලවා ගැනීමට සමත් විය. ඊට පෙර 2008 සහ 2014 වසරවල ගාසා තීරයේදී ඔහුව ඝාතනයට තැත් කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ද ඔහුගේ තවත් පුතුන් දෙදෙනෙක් මිය ගියහ.
ඊයේ ප්‍රහාරයෙන් ඔහුගේ සිව් වන පුත්‍රයා ඝාතනය වූ බව නිවේදනයට පෙර, එක්සත් ජනපද මැදිහත්වීමෙන් ඉදිරිපත් කර ඇති ගාසා සාම සැලැස්ම නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු ඊශ්‍රායලයට චෝදනා එල්ල කළේය.
තවමත් ප්‍රථම අදියරේ පවතින ගාසා සාම සාකච්ඡා, එහි දෙවන අදියර කරා ඉක්මනින් රැගෙන යාම වත්මන් කයිරෝ සාකච්ඡා හි අරමුණ ය. ජනපති ට්‍රම්ප්ගේ ගාසා සම මණ්ඩල ප්‍රධානී නිකොලායි ම්ලැදෙනොව්, එක්සත් ජනපදය නියෝජනය කරමින් ඊට සහභාගී වේ.

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ගාසා සාම සැලැස්මට පසු ගිය ඔක්තෝබරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාව පළ කළහ. ඒ අනුව, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් විය යුතු අතර හමාස් සංවිධානයද අවි බිම තැබිය යුතු වේ. ගාසා ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුව ය.
එහෙත්, හමාස් සංවිධානය අවි බිම තැබීම සම්බන්ධයෙන් මෙතෙක් පූර්ණ එකඟතාවකට පැමිණ නැත. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිදු කරන ප්‍රහාර මුළුමනින් අවසන් කරන තෙක්, දෙවන අදියර සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් නැතැයි, හමාස් බලධාරීන් විසින් එක්සත් ජනපද සාම නියෝජිත ම්ලැදෙනොව් වෙත දන්වා තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
Israeli attack kills son of Hamas leader negotiating with Trump-led board







