තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ දශක ගණනාවක ‘ද්‍රවිඩ පක්ෂ’ ඒකාධිකාරය බිඳ දමමින් සුපිරි කොලිවුඩ් නළු තලපති විජේගේ
TVK පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇතත්, රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ.
විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය ලිඛිතව පෙන්වන ලෙසටයි.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ තනි විශාලතම පක්ෂය ලෙස විජේගේ TVK පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් විය.
එහෙත් බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන ගණන 118කි.
මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළේය.
කොංග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 5ක් හිමි විය.
කොංග්‍රස් පක්ෂය පවසන්නේ මෙම සන්ධානය 'සමාජ සාධාරණත්වය සහ ලෞකිකවාදය' මත පදනම් වූවක් බවයි.
විජේගේ සහ රාහුල් ගාන්ධි අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉදිරි පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද මෙම සහයෝගීතාව ක්‍රියාත්මක වනු ඇත.
විජේගේ රජයක් යටතේ කොංග්‍රස් පක්ෂයට අමාත්‍ය ධුර දෙකක් හිමිවීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර, පවතින දේශපාලන අස්ථාවරත්වය තුල සිදු විය හැකි අකටයුතුකම් වැලැක්වීමේ අරමුණින් විශේෂ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ආණ්ඩුකාර මන්දිරය, TVK ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ නිවාස අසල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක්ද ක්‍රියාත්මක බව එහි සඳහන් වේ.







